රටේ දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යාම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථීර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වනවිට යුහුසුළුව කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නුවරඑළිය-ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ඊයේ (11) උදෑසන සිදු වූ බස් රථ අනතුර පිළිබඳ පුවත ඇසීමෙන් තමන් මහත් සේ කම්පාවට පත්වූ බවත් මෙම බිහිසුණු රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනාගේ පවුල්වල ඥාතීන් වෙත බලවත් සංවේගය පළ කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
අනතුරින් තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන්නේ අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීමට පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම රියදුරන්ගේ ආකල්ප දියුණු කිරීම මඟින්ද හැකියාව ලැබෙන බව විශ්වාස කරන බවයි.
ඒ වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මේ වනවිටත් වැඩසටහනක් සැලසුම් කර තිබේ. එසේම තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු රෝහල් සූදානම් කිරීමටත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක අංශ වෙත සහ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබෙන බව ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.