වෙසක් පොහොය නිමිති කර ගනිමින් රට පුරා දන්සල් 8,712ක් ලියාපදිංචිව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා “දිනමිණ“ට ඊයේ (11) පැවසීය. බස්නාහිර පළාතෙන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචිව ඇති බව ද ඒ මහතා පැවසුවේය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමෙන් අදාළ දන්සල් ලියාපදිංචි කිරීම් සිදු කර ඇති අතර වෙසක් පොහොය දිනයේ සහ ඊට පසුදින ඒවා පරීක්ෂා කිරීම් සිදු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
දන්සල්වලින් බොහෝ පිරිසක් ආහාරපාන ලබා ගැනීමක් සිදු කරන නිසා ඉතාම පිරිසිදුව ආහාරපාන ලබාදීම දන්සල් පවත්වන සැදැහැවත් පිරිසගේ වගකීමක් බව ද ඒ මහතා කීය.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ජලය භාවිත කළහොත් පාචනය වැනි බෝ වන රෝග පවා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් ආහාර සකස් කිරීමේ දී පිරිසිදු ජලය භාවිතයට දන්සල් පවත්වන්නන් පියවර ගත යුතු බවත් හෙතෙම පැවැසීය.
දන්සල් පැවැත්වීම සඳහා මේ වන විට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවත් ඒවා පිළිපැදීම දන්සල් පවත්වන්නන් සිදු කළ යුතු බවත් ඒ මහතා පැවසුවේය.
සාමාන්‍යයෙන් දන්සල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු නොකරන බවත් එහෙත් ආහාර විෂ වීමක් වැනි බරපතළ සිද්ධියක් කිසියම් දන්සලක සිදු වුවහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
සන්ධ්‍යා කරුණාරත්න