පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු හතක් නිකුත් කර තිබිය දී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (11) නියෝග කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පැමිණිලි හතරට අදාළව මුදල් ගෙවීම් සිදු කළ වාර්තා ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට නියෝග කළේය.
පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව අධිකරණය මඟින් වරෙන්තු හතක් නිකුත් කර තිබෙන බව වැලිකඩ පොලීසිය සඳහන් කළ අවස්ථාවේ දී මෙලෙස නියෝග කළේය.
වැලිකඩ පොලීසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු හතරක්ද, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු දෙකක් සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන බව වැලිකඩ පොලීසිය තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව රංගන ශිල්පිනියක් බවත් ඇයට අධිකරණය මඟහැරයාමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් පැවැසූහ. මෙහි ඇතැම් නඩුවලට අදාළ මුදල් සිය සේවා දායිකාව විසින් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවත් එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගෙන තිබෙන බවත් නීතිඥවරු දැනුම් දුන්හ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළේය.
සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිලධාරියෙක් වන ඇගේ සැමියාගේ මෝටර් රථය අනතුරට ලක්වීමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදුවන ස්ථානයේ රැඳී සිටිය දී පෙරේදා (10)ය.
එමෙන්ම තමාට වරෙන්තු 7ක් නිකුත්කර අැති බව දැනගත්තේ පොලීසියට ගිය අවස්ථාවේදී බව සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය කියා සිටියාය.
කල්පනි අබේසිංහ