Monday, May 12, 2025
Home » පොලොන්නරුවේ බූරු පිටියක් වටලා 16ක් කොටුකරගනී

පොලොන්නරුවේ බූරු පිටියක් වටලා 16ක් කොටුකරගනී

-යතුරුපැදි 08ක් ත්‍රීවීලරයක් වෑන් රථයක්

by sachintha
May 12, 2025 1:56 am 0 comment

 

කාලයක සිට පොලොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ නිවෙසක් තුළ පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා, සූදු ක්‍රීඩාවේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයෙකු ඇතුළු දහසය දෙනෙකු, සමඟ ඔවුන් පැමිණි යතුරුපැදි 08 ක්, ත්‍රිරෝද රථයක්, වෑන් රථයක් පෙරේදා (10) අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලීසිය පැවසීය.

සැකකරුවන් හිඟුරක්ගොඩ, වැලිකන්ද, මඟුල්පොකුණ, ගිරිතලේ, මින්නේරිය, ඇතුගල, අරලගන්විල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු වෙනත් අයවලුන්ගේ යතුරුපැදිවලින් පැමිණ ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් රුපියල් ලක්ෂ ගණන්වලට ඔට්ටු අල්ලා දිගු කලක සිට මුදලට සූදු ක්‍රීඩාවේ නිරතවී ඇති බවට අනාවරණය වී තිබෙන බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

පෙරේදා (10) රාත්‍රියේ සූදු ක්‍රීඩාවේ නිරතව සිටියදී සැකකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර අනතුරුව තවත් තිදෙනෙකු පොලීසියට පැමිණ භාර වූ බවද මනම්පිටිය පොලීසිය පැවසීය. අත්අඩංගුවට පත් සිවිල් ආරක්ෂක භටයා මැදිරිගිරි‍ය කලාපයට අනුයුක්තව රාජකාරී කරන අයෙකු වන අතර සූදු ක්‍රීඩාවේ යෙදී සිටි ඔහුගේ සහෝදරයාද මෙහිදී අත්අඩංගුවට පත් වූ බව පොලීසිය පවසයි. සිවිල් ආරක්ෂක භටයා සමඟ අත්අඩංගුවට ගත් සෙසු පිරිස දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් සූදු ක්‍රීඩාවේ නිරතවූ පිරිසක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, සැකකරුවන් 16 දෙනා සමඟ අත්අඩංගුවට ගත් යතුරුපැදි, ත්‍රිරෝද රිය, වෑන් රථය මෙම මස 15 වැනිදා පොලොන්නරුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද මනම්පිටිය පොලීසිය පැවසීය.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT