Monday, May 12, 2025
Home » පරිගණක ශිල්පියාට පයින් පහර දුන්නැයි “ටීචර් අම්මා” අල්ලන්න සොයයි

පරිගණක ශිල්පියාට පයින් පහර දුන්නැයි “ටීචර් අම්මා” අල්ලන්න සොයයි

-ගුරුවරියගේ සැමියා සහ ආයතන කළමනාකරු රිමාන්ඩ්

by sachintha
May 12, 2025 1:57 am 0 comment

පහර කෑමට ලක් වූ තරුණයා

පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ප්‍රසිද්ධ ආයතනයක ගුරුවරියක් එම ආයතනයේ පරිගණක කටයුතු මෙහෙයවන තරුණයෙකුට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට කටාන පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වශයෙන් චෝදනා ලැබ ඇත්තේ හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නමැති කාන්තාවයි.

මෙම ගුරුතුමිය විසින් එම ආයතනයේ සේවයේ නිරත පරිගණක කටයුතු කරන කිඹුලපිටිය ගල්මංකඩ පදිංචි 21 හැවිරිදි රිතික් ක්‍රිෂාල් අගලවත්ත නමැති තරුණයෙකුට ‘තොගේ ඇට තළනවාය‘ කියමින් දාගෙන සිටි අඩි උස සපත්තුවලින් තම ලිංගික අවයව ප්‍රදේශයට පහරදුන් බව පැමිණිල්ලෙන් පවසා ඇත. මාගෙන් අමානුෂික ලෙස මෙම ගුරුතුමිය විසින් වැඩ ගන්නා බවට මගේ සහෝදරිය මුහුණුපොතේ දමා තිබූ සටහනක් පිළිබඳව කෝපයට පත්වීමට ව්‍යාජ චෝදනා නඟමින් මෙම පහරදීම සිදු කළ බව පහර කෑමට ලක් වූ තරුණයා පොලීසියට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. මෙම පහර දීමට එම ගුරුතුමියගේ සැමියා සහ එහි කළමනාකරු බව කියන පුද්ගලයාද එක්වූ බව පැමිණිල්ලේ සඳහන් කර තිබේ. පහරකෑමට ලක් වූ තරුණයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

කටාන පොලීසිය පැවසුවේ ගුරුවරියගේ පාර්ශ්වයෙන්ද මෙම තරුණයාට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබෙන බැවින් ඒ සම්බන්ධව ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි. ටියුෂන් ආයතනයේ සේවය කරන තරුණියකට මෙම තරුණයා ලිංගික අඩන්තේට්ටම් කළේ යැයි ගුරුතුමියගේ පාර්ශ්වය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

කටාන පොලීසියේ නඩු කටයුතු මෙහෙයවන උප පොලිස් පරීක්ෂක ප්‍රියන්තලාල් මහතා විසින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ගුරුතුමියගේ සැමියා 95/ඒ,1, ඩී. එස්.එස්. ජනපදය, කටියල දෙමං හංදිය පදිංචි හේරත් මුදියාන්සේලාගේ චානක විශ්වජිත් යන අය සහ ආයතනයේ කළමනාකරු වශයෙන් සේවය කළ බව කියන අන්ධන කංකානමලාගේ දෙනෙත් ප්‍රණීත් සුරේන්ද්‍ර ,යන දෙදෙනා ඉකුත් 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා පැවසුවේ මෙහි ප්‍රධාන සැකකාරිය ප්‍රසිද්ධ තැනැත්තියක් වන බැවින් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවත් එම ප්‍රධාන සැකකාරිය අධිකරණය මඟහැර සිටින නිසාත් තුවාලකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන නිසාත් විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරුවන් ඇප මත මුදා හැරීම සිදු නොකර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් චමරි සඳුනිකා, දුලීසා විජේසූරිය, ජනණි පෙරේරා යන නීතිඥ මහත්මීන් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාන්දනී දයාරත්න මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායම ප්‍රකාශ කළේ මෙම ගුරුතුමිය ප්‍රසිද්ධ තැනැත්තියක් වන බැවින් ඇය රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඇගේ ජීවිතයට යම් තර්ජනයක් එල්ල වීමට ඉඩ ඇති නිසා ඇය පොලීසියට ඉදිරිපත් නොවූ බවයි. ඉදිරි නඩු වාරයකදී ඇය ඉදිරිපත් කිරීමට හැකි බව සඳහන් කළ නීතිඥ මණ්ඩලය ඕනෑම ඇප කොන්දේසියක් මත තම සේවා දායකයන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රීමාල් අමරසිංහ මහතා සැකකරුවන් දෙදෙනා ලබන 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. මෙම සැකකරුවන් දෙදෙනා මෙවැනි පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර ඇප මත මුදාහැර සිටින පුද්ගලයන් දෙදෙනෙකු බවට වාර්තා වීමද, ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සලකා බැලීමට සිදුවූ බව වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රීමාල් අමරසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

කොච්චිකඩේ – ඩී. ම්හිඳුකුල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT