Home » පරීක්ෂා කරන මුවාවෙන් ඇවිත් කෝටි 30ක මැණිකක් උදුරගෙන දුවලා බඩුත් එක්ක ඇල්ලූ සැකකරුවන් රිමාන්ඩ්

පරීක්ෂා කරන මුවාවෙන් ඇවිත් කෝටි 30ක මැණිකක් උදුරගෙන දුවලා බඩුත් එක්ක ඇල්ලූ සැකකරුවන් රිමාන්ඩ්

by sachintha
May 12, 2025 1:02 am 0 comment

 

රුපියල් කෝටි තිහක් වටිනා නිල් මැණික් ගලක් සොරකම් කර කොළඹ ප්‍රසිද්ධ මැණික් විකිණුම් මධ්‍යස්ථානයකට විකුණා තිබියදී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ අංක 3 විමර්ශන නිලධාරීන් මැණික් ගල හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු සතුව තිබූ මැණික් ගලක් විකිණීමට මුහුණුපොත හරහා ප්‍රසිද්ධ කර තිබුණු අතර, අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු මැණික් ගල සම්බන්ධව තොරතුරු සොයා අයිතිකරු සමග ද අධික විශ්වාසයක් ඇති කරගෙන නිතර එම නිවෙසට යමින් වැඩිදුරටත් විශ්වාසය තහවුරු කරගෙන දුරකතන මගින් මැණික් ගල මිලදී ගැනීමට මාතලේ නගරය ආසන්නයේ තොටගමුව හෝටලයක් ළඟට අයිතිකරු ගෙන්වාගෙන තිබේ. එසේ පැමිණ මැණික පරීක්ෂා කරමින් සිටියදී එකවරම මැණික් ගල උදුරාගෙන මෙම පුද්ගලයා පැන ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් මාතලේ මූලස්ථාන පොලීසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව විමර්ශන නිලධාරීන් සූක්ෂ්ම ලෙස සැකකරු අත්අඩංගුවට ගෙන තොරතුරු හෙළි කර ගැනීමට සමත්ව තිබේ. මතට ඇබ්බැහි පුද්ගලයා ආරක්ෂාවට පුද්ගලයන් දෙපොළක් ද කැටුව මැණික් ගල අලෙවි කිරීමට වෑන් රථයක් කුලියට ගෙන පැමිණ විකුණා තිබූ අතර, දින කිහිපයකදී ඒ පිළිබඳව ලද තොරතුරු මත විකුණා තිබූ මැණික් ගල පොලිස් භාරයට ගෙන ඇත. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ද මැණික යොමු කර තක්සේරු වාර්තාවක් ද සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, මාතලේ දිසා මහේස්ත්‍රාත් ආර්.පී.කේ.එන්. රංකොත්ගේ මහත්මිය ඔවුන්ව මැයි මස 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළාය.

උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT