කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතයේ නීති විරෝධී අයුරින් සකසා වන සතුන් දඩයම් කිරීමට අටවා තිබෙන බඳින කඳක් සමඟ සැකකරුවන් දෙදෙනකු පසුගියදා (9) අත්අඩංගුවට ගත් බව හේරත්ගම වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක නීතිඥ චතුර ගුණරත්න මහතා පැවසීය.
රක්ෂිත භූමියට අයත් මොරගොල්ලාගම හොරොව්වැව ප්‍රදේශයේ සැරිසරමින් සිටින මුවන් හා ඌරන් මැරීම සඳහා අටවන ලද මෙම තුවක්කුව වනජීවී නිලධාරීන් දැක ඒ සීමාවට වන සතුන් පැමිණීම වැළැක්වීමට ආරක්ෂාව සපයමින් වනජීවී නිලධාරීන් කණ්ඩායම පැය හතකට ආසන්න කාලයක් සැඟව සිටියදී මෙකී දඩයක්කරුවා එය පරීක්ෂාවට එතැනට එන අතරවාරයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව එම නිලධාරියා සඳහන් කළේය. ඒ අනුව බඳින තුවක්කුව සමඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එයට බෙහෙත් කොටා එම උගුල අටවා දුන් තැනැත්තා ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් රක්ෂිතය තුළ මෙලෙස අටවන ලද තුවක්කු පත්තු වීමෙන් මිනිසුන්ට පවා අනතුරු සිදුවිය හැකි බවත්, ඊට අමතරව මේවා පත්තු වී නිරතුරුවම වනඅලින්ගේ පාදවලට දැඩි ලෙසට හානි සිදු වී අපා දුක් විඳිමින් සැරව ගලනා තුවාල සහිතව රක්ෂිතයේ ගැවසෙන අයුරු දක්නට ලැබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොල්පිතිගම සමූහ – නන්දන කැලේගම