Home » කෝටි දෙකහමාරක හෙරොයින් අනුරාධපුරයෙන් සොයා ගනී සැකකරු අත්අඩංගුවට

කෝටි දෙකහමාරක හෙරොයින් අනුරාධපුරයෙන් සොයා ගනී සැකකරු අත්අඩංගුවට

by sachintha
May 12, 2025 1:06 am 0 comment

අනුරාධපුර පොලිස් කොට්ඨාසයෙන් මෑත ඉතිහාසය තුළ හමු වූ වැඩිම හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයකු පෙරේදා (10) අත්අඩංගුවට ගත් බවත්, එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි දෙකහමාර ඉක්මවන බවත් අනුරාධපුර මූලස්ථාන පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ගාල්ල, රත්ගම පොලිස් වසමේ ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. අනුරාධපුර ජනාධිපති විද්‍යාලය ආසන්නයේ පුද්ගලයකු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට අනුරාධපුර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් සැරයන් සමන් මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරු මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර, ඔහු සන්තකයේ තිබූ බෑගයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 507ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 501ක් සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බවත්, ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරක් පමණ වන බවත් පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු විදේශයක සැඟව සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබා ගන්නා බවට සැක කරන බවත්, ඒ පිළිබඳව දැන ගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් පොලීසිය කීය. සැකකරු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම අනුරාධපුර නගරය හා ඒ අවට මහා පරිමාණයෙන් සිදු කරගෙන යෑම සඳහා අනුරාධපුර ජනාධිපති විද්‍යාලය ආසන්නයේ නිවෙසක් කුලියට ගෙන නවාතැන් ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරාධපුර සංචාරක – බී.ජී. චතුරංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT