Home » ඩයරබා ප්‍රදේශයේදී බසයක් ප්‍රපාතයේ : අයෙක් මරුට – 19කට තුවාල

ඩයරබා ප්‍රදේශයේදී බසයක් ප්‍රපාතයේ : අයෙක් මරුට – 19කට තුවාල

by sachintha
May 12, 2025 1:07 am 0 comment

බණ්ඩාරවෙල සිට වැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඩයරබා 11 කණුව ප්‍රදේශයේදී පෙරේදා (10) රාත්‍රී අඩි 80ක පමණ ප්‍රපාතයට පෙරළී යෑමෙන් එක් අයකු මියගොස් 19 දෙනෙක් තුවාල ලබා දියතලාව, වැලිමඩ සහ බදුල්ල ශික්ෂණ රෝහල් වෙත ඇතුළත් කළ බව වැලිමඩ පොලීසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ වැලිමඩ හද්දවුල පල්ලිය අසල පදිංචිව සිටි මිස්කින් මොහොමදු ඉක්බාල් නමැති (56) හැවිරිදි අයෙකි.

තුවාලකරුවන් ප්‍රපාතයට පෙරළී ගිය බස් රථය තුළ සිරවී සිටියදි වැලිමඩ පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරමින් උඩට ගෙනැවිත් කඩිනමින් මිරහවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි. පසුව එම තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව, වැලිමඩ සහ බදුල්ල ශික්ෂණ රෝහල්වලට මාරු කර යැවූ බවත්, ඉන් වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයකු මෙසේ මියගිය බවත් පොලීසිය සඳහන් කළේය. තුවාල ලැබූ තිදෙනකු දියතලාව රෝහලේත්, 13 දෙනකු වැලිමඩ රෝහලේ සහ තිදෙනකු බදුල්ල ශික්ෂණ රෝහලේත් දැනට නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත්, ඔවුන් අතර කුඩා දරුවකු බරපතළ තුවාල ලබා සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරින් පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා ද තුවාල ලබා දැනට වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

තුවාලකරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

සොරණාතොට සමූහ – සී. ගමගේ, බදුල්ල සමූහ – නිශාන්ත අබේගුණවර්ධන, වැලිමඩ සමූහ – ආර්. රාජමන්ත්‍රී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT