Monday, May 12, 2025
Home » කුඩු එක්ක ඇල්ලූ දෙදෙනා ළඟ ජීව උණ්ඩ 120ක්

කුඩු එක්ක ඇල්ලූ දෙදෙනා ළඟ ජීව උණ්ඩ 120ක්

-අපරාධ රැසක තොරතුරුත් වමාරයි

by sachintha
May 12, 2025 1:08 am 0 comment

බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත ගම්පහ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සිදු කරන ලද මෙහෙයුමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු උඩුගම්පොළ වීදියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 90ක් හා හෙරොයින් ග්‍රෑම් 15ක් පොලීසිය මඟින් සොයා ගැනිණි. සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ප්‍රධාන සැකකරුගේ වීදියවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස තුළ සඟවා තිබූ T 56 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 94ක්, මිලිමීටර් 9 උණ්ඩ 6ක්, රිවෝල්වර් උණ්ඩ 6ක් හා ෆෝ එස් 80 උණ්ඩ 6ක්, පොලිස් භාරයට ගෙන තිබේ. ප්‍රධාන සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පසුගිය පෙබරවාරි මස 27 වැනි දින මිනුවන්ගොඩ පොලිස් වසමේ රෙජී රණතුංග විදුහල ඉදිරිපිටදී උදයංග රෝහණ හෙවත් ‘ටොක්කා’ නමැති අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ගිනි අවිය දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල කල්ලි නායක ‘කලුවා’ නමැත්තාගේ උපදෙස් මත තබන ස්ථානය දැනුම් දී වෙඩික්කරුට ලබා දී ඇත්තේ මෙම සැකකරු විසින් බවත්, ඒ සඳහා රුපියල් විසිදහසක මුදලක් ලබාගෙන ඇති බවත් අනාවරණය කරගෙන තිබේ. ඊට අමතරව, පසුගිය අප්‍රේල් මස 26 වැනි දින කටුනායක පොලිස් වසමේ හීනටියන, ඉහළ මැණ්ඩිය ප්‍රදේශයේදී හීනටියන පදිංචි උදාර චතුරංග නමැති අයට යතුරුපැදියකින් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු නිවෙස තුළට පැමිණ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන්ට පත‍ෙරාම් ලබා දී ඇත්තේ ද මෙම සැකකරු බවට ද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 හා 25 වියේ පසුවන උඩුගම්පොළ, වීදියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා ගත් රැඳවුම් නියෝග මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

යක්කල විශේෂ – රුවන් සමන්ත අධිකාරි සහ ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT