Home » ළිඳක් ශුද්ධ කරද්දී කන්දට යටවූ තරුණයා මරුට

ළිඳක් ශුද්ධ කරද්දී කන්දට යටවූ තරුණයා මරුට

-මළසිරුර ගොඩගත්තේ පැය 11ට පසුව

by sachintha
May 12, 2025 12:10 am 0 comment

 

බණ්ඩාරවෙල නගරයේ අමීන් මාවතේ ළිඳක් ශුද්ධ පවිත්‍ර කිරීමට ගොස් හදිසියේ කඩාවැටුණු පස් කන්දකට යටවී ළිඳ තුළ පස්ගොඩේ අතුරුදන් ව සිටි පුද්ගලයාගේ මළසිරුර පැය 11ට පමණ පසුව ඉකුත් 8 වැනිදා මැදියම් රැයේ සොයා ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

බණ්ඩාරවෙල, කහගොල්ල 23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන්, බණ්ඩාරවෙල පොලීසිය, ගම්වාසීන්, බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් ගේ සහාය මත මහත් පරිශ්‍රමයක් දරමින් මෙසේ සොයා ගනු ලැබූයේ බණ්ඩාරවෙල, වරකාරොදවත්ත පදිංචිව සිටි 67 හැවිරිදි කේ. පුෂ්පරාජ් නමැත්තාගේ මළසිරුර යැයි පොලීසිය පවසයි.

පස් කන්ද කඩා වැටීමෙන් ළිඳ තුළ සිරවී සිටි මොහු බේරා ගැනීමට යාමේදී තවත් පස් කන්දක් කඩා වැටීමෙන් ඊට යටවු බණ්ඩාරවෙල මහ නගර සභා සේවකයකු සහ බණ්ඩාරවෙල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබූ අතර, මහ නගර සභාවේ සේවකයා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය පැවසීය.

තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් බව පොලීසිය පවසයි.

මෙම මියගිය පුද්ගලයා බණ්ඩාරවෙල නගරයේ අමීන් මාවතේ පිහිටි ජනතාව ප්‍රයෝජනයට ගන්නා ළිඳක් ශුද්ධ පවිත්‍ර කිරීමට ඉකුත් 8 වැනිදා දහවල් ගොස් ඇති අතර ළිඳ ශුද්ධ පවිත්‍ර කරමින් සිටියදී එක්වරම හදිසියේ කඩාවැටුණු පස් කන්දකට හසුව මොහු ළිඳ තුළ පස්ගොඩේ අතුරුදන් විය. පසුව දිගින් දිගටම පස් කඳු ළිඳ තුළට කඩා වැටීම නිසාවෙන් මෙම අතුරුදන්ව සිටි අයගේ මළසිරුර සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වූ බවත් පොලීසිය සඳහන් කළේය.

සොරණාතොට සමූහ

සී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT