Home » Silver Screen උපහාර සම්මාන උලෙළ 30 වැනිදා

Silver Screen උපහාර සම්මාන උලෙළ 30 වැනිදා

by sachintha
May 12, 2025 12:10 am 0 comment

කලාවේ හැඩතල ගොඩනැඟු කලාකරුවන් වෙනුවෙන් 4 වැනි වරටත් පවත්වනු ලබන silver screen උපහාර සම්මාන උලෙළ මෙවරත් අති උත්සවාකාරයෙන් පවත්වන බව silver screen හි සභාපති චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහතා ඊයේ දින ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මැයි මස 30 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් පරිස්‍රයේ දී පැවත්වීමට නියමිත මෙම සම්මානනීය රාත්‍රිය අඛණ්ඩව 07 වැනි වරටත් කලාකරුවන් විසිහත් දෙනෙකු සම්මානයට හා උපහාරයට පිදීමට සැරසේ. 1970 සහ 1975 දක්වා කාලවකවානුවේ සිංහල සිනමා කර්මාන්තය උදෙසා සිය දායකත්වය ලබාදුන් කලාකරුවන් සහ විවිධ අංශවලින් සිංහල සිනමාවට සිය දායකත්වය ලබාදුන් මහත්ම මහත්මීන් මේ අතර වන බව එහි ලේකම් රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මිය ප්‍රකාශ කළාය.

2025 Silver Screen උපහාර සම්මාන උලෙළ සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය පවර් හෑන්ඩ් ප්ලාන්ටේෂන් ආයතනය විසින් ලබාදී ඇති අතර, කලා ශිල්පීන් රැසක් ද මේ සඳහා සිය දායකත්වය ලබාදී ඇති බවත් ඔවුන්ගේ සාඩම්බර අනුග්‍රාහකත්වය මෙවර රංගන ශිල්පීන්, ශිල්පිනියන්, තිර රචනය, අධ්‍යක්ෂණය, සහාය අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, කැමරාකරණය සහ වේශ නිරූපණය ආදී විවිධ අංශ රැසකින් සිය දායකත්වය ලබාදුන් කලාකරුවන් රැසක් එදින සම්මානයට පාත්‍රවන බව ඇය ප්‍රකාශ කළාය.

ලාංකේය ස්වර්ණමය සිනමාවට 1970 – 1975 දක්වා කාලය තුළ අනුපමේය සේවයක් කළ ගීතා කුමාරසිංහ, චන්දි රසිකා, මැණික් කුරුකුලසූරිය, අග්‍රා සජීවනී, ජයසේකර අපොන්සු, ප්‍රියංකර පෙරේරා, බන්දුල ගලගෙදර, සිසිර කුමාරතුංග, සුනිල් එදිරිසිංහ, ඉන්ද්‍රාණි පෙරේරා, නිමල් රෝසා, ලලිත් ගුණවර්ධන, ලලිත් ධර්මවර්ධන, රූපසේන ද සිල්වා, ලෙස්ලි සිරිවර්ධන, ජී. නන්දසේන, ඩොනල්ඩ් ජෑන්ස්, රිචඩ් වීරක්කොඩි, පද්මසිරි කොඩිකාර, දිනේෂ් ප්‍රියසාද්, ජෝ දේව් ආනන්ද් සහ ගිවන්ත අර්ථසාද් වැනි ප්‍රවීණ කලාකරුවන්, රංගවේදීන් රැසක් මෙහිදී සම්මානයට සහ උපහාරයට ලක්වන අතර, ජයන්ත ධර්මදාස මහතා විශේෂ සම්මානයකින් පිදුම් ලැබීමට නියමිත බවත් මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

සිය දිවංගත පියාණන් වන රංගන ශිල්පී සුමිත් බිබිලේ මහතාගේ සංකල්පයක් පරිදි 2021 වර්ෂයේදී සිය පියාණන්ගේ අර්ථසාධක අරමුදල්වලින් අඩක් යොදා ගනිමින් ආරම්භ කරන ලද මෙම silver screen සංගමය මේ වනවිට අනුග්‍රාහක භවතුන්ගේ ද කලාශිල්පීන්ගේ ද සහයෝගය ඇතිව කලාකරුවන් වෙනුවෙන් මෙවැනි උපහාර පිරිනැමීම සහ ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී විශාල සහන රැසක් ලබාදීමට විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති බව silver screen හි නිර්මාතෘ සහ ලේකම් රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මිය විසින් වැඩිදුරටත් කීවාය.

ගල්කිස්ස සමූහ

ෂෙහාන් ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT