Home » ක්‍රීඩකයන් 49ක් අතුරින් දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා වෙයි
යෝධසිංහගෙන් යෝධ පිම්මක්

ක්‍රීඩකයන් 49ක් අතුරින් දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා වෙයි

by sachintha
May 12, 2025 1:19 am 0 comment

අන්තර්ජාතික මලල ක්‍රීඩාවේ ඉදිරි‍යන්ම සිටින ක්‍රීඩකයන් රැසක් තරග කළ ඩුබායි ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී චමෝද් යෝධසිංහ විශිෂ්ට දස්කම් දක්වමින් තත්පර 10.27කින් මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම දිනා ඉදිරියට පැමිණීමට සමත් විය.

ඩුබායි පොලිස් ක්‍රීඩාංගණයේ පැවති මේ ඉසව්වේදී ක්‍රීඩකයන් 49ක් අතුරින් චමෝද් යෝධසිංහ දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීම විශේෂත්වයකි. ගෝන් ප්‍රී මලල ක්‍රීඩා ඉතිහාසයේ පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.27කින් අවසන් කරමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට යෝධසිංහ සමත් වූ පළමු අවස්ථාව මෙය වේ.

මේ තරගයට එක් වූ යුපුන් අබේකෝන් තත්පර 10.39ක කාලයක් වාර්තා කරමින් සමස්ත ක්‍රීඩකයන් අතුරින් පස්වැනි ස්ථානයට පත්වූ අතර, මීටර් 100 පිරිමි සහාය දිවීමේ කණ්ඩායම තත්පර 39.41ක කාලයක් වාර්තා කරමින් සිවුවැනි ස්ථානයට පත් විය. එම කණ්ඩායමට යුපුන් අබේකෝන් සමඟ මෙරොන් විජේසිංහ, චමෝද් දිසානායක, දිනෙත් වීරරත්න හා චමෝද් යෝධසිංහ ඇතුළත් වූහ.

මීටර් 100 ඉසව්වේ හොඳම කාලය වාර්තා කරමින් රන් පදක්කම ඕමානයේ අලි අල් බසූෂි (තත්පර 10.19) දිනාගත් අතර, ලෝකඩ පදක්කම බහරේනයේ අල් මොහොමඩ් හජී (තත්පර 10.30) දිනා ගත්තේය.

බර්මින්හැම්හිදී පැවති 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව යුපුන් අබේකෝන්, වසර හතරක විරාමයකින් පසු ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට නැවත පැමිණියද, තරග ආරම්භ‍යේදී ඇතිවූ දුර්වලතාවක් හේතුවෙන් ඩුබායි තරගයේදී පසුපසට ගියේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT