Home » උතුරේ ප්‍රාදේශීය රෝහල් පස් අවුරුදු සැලැස්මක් අනුව සංවර්ධනයට පියවර

උතුරේ ප්‍රාදේශීය රෝහල් පස් අවුරුදු සැලැස්මක් අනුව සංවර්ධනයට පියවර

-ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

by sachintha
May 13, 2025 1:02 am 0 comment

උතුරු පළාතේ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල විශේෂ පස් අවුරුදු සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට පිය‍වර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ඇමැතිවරයා මෙසේ පැවැසුවේ පසුගියදා මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදීය.

මෙහිදී මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුක්කන්, අඩම්පන්, වන්කාලෙයි, නානාටන්, සිලාවතුර ප්‍රාදේශීය රෝහල් ද ඇමැතිවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“උතුරු පළාත් සභාවේ ද සහාය ඇතිව කිළිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, වව්නියාව දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල සංවර්ධනය කිරීමට නියමිතයි. ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් දීම මෙහි අරමුණයි. උතුරු පළාතේ එක් ශික්ෂණ රෝහලක්, දිස්ත්‍රික් මහ රෝහල් හතරක්, මූලික රෝහල් දහයක්, දිසා රෝහල් පනස් පහක්, ප්‍රාදේශීය රෝහල් හතළිස් අටක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තිස් තුනක් ස්ථාපිත කර තිබෙනවා. මේ පළාතේ වෙසෙන දොළොස් ලක්ෂයකට ආසන්න ජනතාවකට මේ සෞඛ්‍ය ආයතනවලින් සුව සත්කාර සහ ප්‍රතිකාර සේවා සපයනවා.

රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර සහ සත්කාර සේවාවන් ලබා දී ඔවුන් නීරෝගීමත් පුද්ගලයන් බවට පත් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සියලු දෙනාගේ වගකීමක්. රෝහල හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානය පාලනය කරන්නේ පළාත් සභාවෙන් ද, මධ්‍යම රජයෙන් ද යන්න අදාළ නෑ. මෙරට සමස්ත ජනයා සුවපත් කිරීමේ වගකීම සෞඛ්‍ය ඇමැතිවරයා වන මගේ සිට පහළම සේවකයා දක්වා පැවරී තිබෙනවා. ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කරනවා. මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ලෝකයේ සංවර්ධිත රටවල පවතින සෞඛ්‍ය සේවාවට සමාන මට්ටමකින් පවතිනවා.”

මේ ප්‍රාදේශීය රෝහල්වල කාර්ය මණ්ඩලයට පවතින ගැටලු ඇමැතිවරයාට ඉදිරිපත් කිරීමට ද එහිදී අවස්ථාව ලැබිණි. එම රෝහල්වල පවතින භෞතික සහ මානව සම්පත්වල හිඟතාව පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇමැතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගත් අතර, නිලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් දීමට පියවර ගත්තේය.

මේ ප්‍රදේශවල බෝවන හා බෝ නොවන රෝගවල යම් වර්ධනයක් දක්නට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීම, වස විසෙන් තොර පෝෂ්‍යදායි ආහාර රටාවකට ජනතාව හුරු කිරීම, විධිමත් ප්‍රතිකාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, මව්වරුන් කුඩා දරුවන් සහ පාසල් දරුවන් ඉලක්ක කර ගත් විශේෂ පෝෂණ වැඩසටහන් සහ පෝෂණයට අදාළ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට ද පියවර ගන්නා මෙන් ඇමැතිවරයා විසින් අදාළ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මේ නිරීක්ෂණ චාරිකාවලට වව්නියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ, මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධර්මරාජන් විනෝදන් මහත්වරුන්, ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්, ස්ථාන භාර වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීන් නියෝජනය කරමින් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහ රෝහල් කමිටු නියෝජිතයෝ ද සහභාගි වූහ.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT