කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සහ ඉන්දියාවේ පැට්නා හි බිහාර් කෞතුකාගාරය සමඟ සහයෝගයෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, කොළඹ බුද්ධ රශ්මි ජාතික වෙසක් උත්සවයට සමගාමීව ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකය හිදී ‘ධම්ම රූප’නමින් විශේෂ ප්‍රදර්ශනයක් පවත්වයි.
ගංගාරාමයේ වෙසක් උත්සවය විවෘත කිරීමට ඊයේ(12) පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමගින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ‘ධම්ම රූප’ ප්‍රදර්ශනය ද විවෘත කළේය .
‘ධම්ම රූප’ ප්‍රදර්ශනය ඉන්දියාවේ පොහොසත් බෞද්ධ මූර්ති උරුමයන් පෙන්නුම් කරන අතර ක්‍රි.පූ. 1 වන සියවසේ සිට ක්‍රි.ව. 11 වන සියවස දක්වා දිවෙන සංකේතාත්මක බුද්ධ මූර්තිවල දුර්ලභ ඡායාරූප ප්‍රදර්ශනයට ඉදිරිපත් කර ඇත. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් කැණීම් කර හමු වූ පුරාණ බුද්ධ මූර්තිවල කැපී පෙනෙන රූප මෙහි ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා මේවන විට බිහාර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
මෙම මූර්ති මුල් බෞද්ධ කලාකරුවන්ගේ අධ්‍යාත්මික ගැඹුර සහ විශිෂ්ට ශිල්පීය හැකියාවන් පිළිබිඹු කරන අතර මෙම ආරම්භක යුගයේ සිට බෞද්ධ කලාවේ කලාත්මක හා භක්තිමත් ප්‍රකාශන අත්විඳීමට අමුත්තන්ට අද්විතීය අවස්ථාවක් ලබා දෙයි.
ඊයේ(12) ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය මැයි 16 වැනිදා දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ජාතක කතා පාදක කරගත් අමර් චිත්‍ර කතා පොත් පහක සිංහල පරිවර්තනවල පිටපත් ප්‍රදර්ශන භූමියේදී බෙදා දෙන ලදී. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සහ වටිනාකම් සමඟ තරුණ මනස නිර්මාණශීලීව සම්බන්ධ කර ගැනීමේ විශේෂ මුලපිරීමක කොටසක් ලෙස මෙම පොත් පැමිණෙන දරුවන්ට පරිත්‍යාග කරන ලදී.
මෙම මුලපිරීම් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පොදු බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට, බෙදා ගැනීමට සහ සැමරීමට ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි. එය බුදුන් වහන්සේගේ අකාලික ඉගැන්වීම් හරහා ජාතීන් දෙක එක්සත් කරන ගැඹුරු මුල් බැසගත් ශිෂ්ටාචාර සබඳතා සහ කල් පවතින සංස්කෘතික බැඳීම නැවත තහවුරු කිරීමකි.