Home » ජනතා හිතකාමි ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සැකසීම කාලීන අවශ්‍යතාවකි

ජනතා හිතකාමි ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සැකසීම කාලීන අවශ්‍යතාවකි

by sachintha
May 13, 2025 1:00 am 0 comment

ප්‍රවාහන පද්ධතිය සහ එහි ගැටලු පිළිබඳව යළි යළිත් ලිවීමට සිදුව තිබේ. ඒ එම පද්ධතියේ ඇති වන විවිධ ගැටලු හේතුවෙනි. දෛනිකව සිදු වන රිය අනතුරු සංඛ්‍යාවත්, එමඟින් මරණයට පත්වන හා සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන සංඛ්‍යාවත් දිගින් දිගටම ඉහළ ගොස් තිබීම ඊට බලපාන ප්‍රධානතම හේතු සාධකය බවට පත්ව තිබේ.

ජාතික ප්‍රවාහන පද්ධතියේ ඇති ගැටලු සහ මහාමාර්ගවල රිය අනතුරු මෙන්ම ඒවායෙන් මියයන්නන් පිළිබඳව යළි කතා කිරීමට සිදුව ඇත්තේ අතිවිශාල ඛේදවාචක ලෙස රිය අනතුරු පිළිබඳ තොරතුරු වාර්තා වීමෙනි. දිනපතා ප්‍රවෘත්ති විකාශයන්හි හා පුවත්පත් සිරස්තලවල මෙකී කාරණා දිගින් දිගටම වාර්තා වීම ඛේදවාචකයකින් ඔබ්බට ගොස් හඳුනාගැනීම අත්‍යවශ්‍ය ය.

සෑම ඛේදවාචකයකට පසුව විවිධ ප්‍රකාශ, අනාගත ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්දීම්, දැනුම්වත් කිරීම් කොතෙකුත් සිදු වුවත් යළිත් සමාජය පරණ පීල්ලේ ම ගමන් කරමින් තිබීම තවත් ඛේදයකි.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රථවාහන පොලීසිය සඳහන් කරන පරිදි රිය අනතුරුවලින් දෛනිකව දොළහකට වඩා වැඩි පිරිසක් මියයෑම සිදු වේ. පූර්ණකාලීන සහ අර්ධකාලීන ආබාධිත තත්ත්වයන්ට පත් වන සංඛ්‍යාව වාර්ෂිකව ගත් කල දස දහසකට ආසන්න ය. මියගිය අයට සහ ආබාධිත බවට පත් වූවන්ට වන්දි මුදල් ලබා දීමෙන් පමණක් මෙම කාර්යයට සාධාරණය ඉටු කළ හැකි ද? යන ප්‍රශ්නාර්ථය තවමත් අප හමුවේ පවතී.

ගත වූ කාලපරාසය මුළුල්ලේ සිදු වූ රිය අනතුරු සහ එහි සංඛ්‍යාත්මක දත්ත පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමට අපි කටයුතු නොකරමු. මේ වසරේත් මීට පෙරත් දිගින් දිගට ම සිදු වූ මෙවැනි ඛේදවාචක නිසා අසරණභාවයට පීඩිතභාවයට පත් වූ සුවහසක් මගී ජනතාව වෙනුවෙන් කිසියම් වූ සාධාරණ ක්‍රියාමාර්ගයක් ගැනීම කාලීන සහ අත්‍යවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ගයක් බව පළමු කොට අපි අවධාරණය කොට සිටිමු. එසේ නොමැතිව සිදු වීමෙන් සිදු වීමට අනතුරුව ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් කිසිවෙකුටත් ඇති වන සුගතියක් නැත.

2005 වසරේ සිට බලයට පත් වූ සෑම රජයක්ම සෑම ජනාධිපතිවරයෙක් ම, සෑම ප්‍රවාහන අමාත්‍යවරයෙක් ම සඳහන් කරනු ලැබුවේ ප්‍රවාහනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවයි. ඒ සඳහා විවිධ කෙටුම්පත් සකසා ඇති බවටත් සාකච්ඡාව වට ගණන් අනන්තවත් පවත්වා ඇති බවටත් ඉතිහාසය සාක්ෂි දරයි.

ඒ කිසිවකින් ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් වූයේ නැති වුවත් ඒ සඳහා අතිවිශාල ධනස්කන්ධයක් විනාශ කොට ඇති බව නම් සහතික ය. ප්‍රායෝගිකකරණයට ලක් වූ කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුවයි.

ප්‍රවාහනයට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකටම ජාතික න්‍යායපත්‍රයක් සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා වන ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීම මැතිවරණ පොරොන්දුවලින් ඔබ්බට ගිය ක්‍රියාවලියකි.

ශ්‍රී ලංකාවේ ගෙවුණු ඉතිහාසය දෙස විමසිල්ලෙන් බලද්දි අපට පෙනී යන්නේ ප්‍රතිපත්ති සකස් කිරීමට පිරිස් ඕනෑ තරම් ඇති බවයි. තීන්දු තීරණ ගන්නට ද ඕනෑ තරම් නිලධාරීහු වෙති. නැත්තේ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වන ක්‍රමවේදයක් සහ ප්‍රායෝගිකකරණය සඳහා වන වැඩපිළිවෙළකි. ප්‍රතිපත්ති සකස් කිරීම සහ ක්‍රියාවට නැංවීම යනු අතිශයින් වෙනස් කාරණා දෙකක් බව අවබෝධ කරගැනීම අතිශයින් වැදගත් කාරණයකි.

ජාතික ජන බලවේග ආණ්ඩුව ද පරිසර හිතකාමි ජාතික ප්‍රවාහන සේවාවක් පිළිබඳව වූ සැලැස්මක් මැතිවරණයට පෙර ඉදිරිපත් කොට තිබුණි. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අර්බුද, ගැටලු හඳුනාගෙන තිබූ අතර ඊට ප්‍රායෝගිකකරණය වූ විසඳුම් ද යෝජනා කොට තිබුණි.

“පොදු ජනයාගේ දෘෂ්ටිකෝණයෙන් විමසා බැලීමේදී ශ්‍රී ලාංකේය ප්‍රවාහනය බහුමාන ගැටලුවකි. අවිධිමත් සහ අකාර්යක්ෂම ප්‍රවාහනය රටේ සාතිශය බහුතර ජනතාවගේ ජීවිත කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපතේ හැර ඇත. රටේ ජනතාව අභිමානවත් පුරවැසියන් ලෙස ගොඩනඟනවා වෙනුවට සියල්ල ඉවසා සිටින පීඩාවට සහ අසහනයට පත් ජනතාවක් බවට පත්කොට ඇත.” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වෙයි.

එසේ නම් එම ප්‍රකාශනය මඟින් රටේ මූලික ගැටලුවක් වන ප්‍රවාහන අර්බුදය හඳුනාගෙන ඇති බව පැහැදිලි ය. ඒ මත පිහිටා ජනතා හිතවාදී ප්‍රවාහන ප්‍රතිපත්තියක අවශ්‍යතාව ක්‍රියාවට නැංවීම සඳහා පියවර තැබීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබේ. ඒ සඳහා නිශ්චිත ප්‍රතිපත්තිමය දැක්මක්, ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රායෝගිකකරණයක් , විධිමත් අධීක්ෂණ ක්‍රියාවලියක් සහිතව ජාතික ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා තවදුරටත් පමා විය යුතු නැත.

කවර හෝ තත්ත්වයක් යටතේ එවැනි ජාතික ප්‍රතිපත්තීන් සකස් කිරීම සහ ක්‍රියාවට නැංවීම පමා වන සෑම මොහොතක් පාසා ම මෙරට බහුතර පීඩිත පන්තියේ ජනතාවට ස්වකීය ජීවිත මෙවැනි පන්නයේ ඛේදවාචකවලින් කෙළවර කිරීමට සිදු වනු ඇත. ඒ සෑම මොහොතකදීම බලධාරි පාර්ශ්වයට ඇඟිල්ල දිගු වීම වැළැක්විය නොහැකි කාරණයක් ද වනු ඇත.

එම නිසා ජාතික ගැටලු පිළිබඳව ඇති වන මිත්‍රශීලි විවේචන නිවැරදිව හඳුනාගෙන ඒ පිළිබඳව ක්‍රියාමාර්ග සකස් කිරීම බලධාරි පාර්ශ්වයේ නිශ්චිත භාරධුර සහ පැහැරහැරිය නොහැකි වගකීමක් බව අපි අවධාරණය කොට සිටිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT