Tuesday, May 13, 2025
Home » වෙසක් සමය පිළිවෙතින් පෙළ ගැසීමට හොඳම අවස්ථාවක්
ලොවට මඟ පෙන්වන බෞද්ධ දර්ශනය

වෙසක් සමය පිළිවෙතින් පෙළ ගැසීමට හොඳම අවස්ථාවක්

-අනුරාධපුර අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමි

by sachintha
May 13, 2025 2:25 am 0 comment

ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් ඉහළින් සහ අතිශය ගෞරව බහුමානයෙන් යුතුව සමරනු ලබන වෙසක් පුර පසළොස්වක පොහොය සුවිශේෂීය. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් කරමින් බුදුන් වහන්සේගේ තෙමඟුල අනුස්මරණය කිරීම මෙහිදී කරනු ලබයි. අතිශයින්ම කලබලකාරී ජීවිත ගෙවන වත්මන් සමාජය බුදු තෙමඟුල සිහිපත් කරන මේ මොහොතේ සිය ඒකාකාරී ජීවිතයෙන් මොහොතකට මිදී, බුද්ධ දේශනාවේ ඉගැන්වීම් තුළින් ධාර්මික දිවි පෙවෙතකට පෙළ ගැසීමේ අවශ්‍යතාව පිළිබඳ අනුරාධපුර අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සකසන ලද ලිපියකි මේ.

සිත සන්සුන් කර ගැනීම, සිත දමනය කර ගැනීම සහ බුදු දහමේ ඉගැන්වෙන හර පද්ධතීන් තුළින් ජීවිතය හැඩගස්වා ගැනීම බුදුන් වහන්සේ බෙහෙවින් අගය කළ සේක. එදා බුද්ධ කාලීන භාරතයේ පැවැති සමාජ තත්ත්වය සහ වත්මන් සමාජ ක්‍රමය අතර බරපතළ වෙනස්කම් පැවති බවක් නොපෙනෙයි. මනුෂ්‍ය වර්ගයා උපතින් ම රැගෙන එන ගති ස්වභාවන් සර්ව කාලීන වන අතර අද මෙන්ම එදත් දුෂ්චරිත බහුල කලකෝලාහල, මත ගැටුම්, දේශපාලන ඝට්ටන, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය , පලිගැනීම් ආදී හැසිරීම් ස්වභාවයන් එදා ද පැවති බව බුද්ධ කාලයේ අතීත පුරාවෘත්ත මොනවට පැහැදිලි කරයි.

මේ නිසා ම තුන් ලෝකයට අග්‍ර වූ බුදුන්වහන්සේ විශේෂයෙන් මානව සමාජය ධාර්මික වීමේ අවශ්‍යතාව සහ සසර කතරින් එතෙර වීමට ඇති ඒකායන මඟ වන නිවන සාක්ෂාත් කර ගැනීමට නම් දැහැමි දිවි පෙවෙතක් ගෙවීමේ අවශ්‍යතාව ගැඹුරින් දේශනා කරන ලදි. ඒ සඳහා සමාජ ශෝධනය මෙන්ම පුද්ගල සන්තානයේ කෙලෙස්මල සෝදා හැරීමට ක්ෂණ සම්පත්තිය ඇත්තාවූ පුද්ගලයින් සොයා උන් වහන්සේම ඔවුන් අතරට වැඩියහ. තවත් පිරිසක් උන් වහන්සේ සොයා පැමිණියහ.

ධාර්මික සමාජයක් ප්‍රතිෂ්ඨාපනය වීමේ මූල බීජය සකසන්නේ බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් අතර එන පංචශීල ප්‍රතිපදාවයි. ලොව පහළ වු විවිධ ශාස්තෘවරුන් ද දැහැමි ජීවිතයක් සඳහා වන පුරුෂාර්ථ ඉගැන්වූ නමුත් බුදු රාජණන් වහන්සේ දේශනා කළ බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පංචශීලය තමා මෙන්ම සමාජය ද ධර්මිෂ්ඨ මාර්ගයට යොමු කරන සරලව නොතැකිය යුතු ගාම්භීර ප්‍රතිපදාවක් ලෙස පෙන්වා දිය හැකිය.

පංචශීලයේ එන පස්පව්වලින් වැළකීම වනාහි තම ජීවිතය සුරක්ෂිත කර ගන්නා අතරම අනෙකාගේ ජීවිත සුරක්ෂිතාව ද තහවුරු කරන සහතිකයයි. තම ජීවිතය හා සසඳා බලමින් අන්‍ය පුද්ගලයින්ට හිමි ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම, එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය විශ්වාසය නොබිඳෙන ලෙස කටයුතු කිරීම, සිහි නුවණින් යුතුව ක්‍රියා කිරීම, අර්ථික පරිහාොනිය, අවුල් වියවුල් ඇති වීමට ඇති මං ඇහිරීම ආදි මානව සමාජය ධර්මානුකූල මාර්ගයට ප්‍රවේශ කළ හැකි එකම මාර්ගය ලෙස පංචශීලය බුදුන් වහන්සේ අනු දැන වදාළහ.

වත්මන් සමාජය විෂයෙහි පවතින අතිශය අප්‍රසන්න කල් ක්‍රියාවන් මනුෂ්‍ය සමාජයට කිසිසේත්ම නොගැළපේ. පර පණ නැසීම, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුවෙන් අන්‍යයන් මුළාකිරීම , මත්ද්‍රව්‍ය මත්වතුරට ලොල් වීම මේ වන විට මිහිමත සියලු පාපී ක්‍රියවන්ගේ යුත් ගොහුරු වළක් තැනීමට පාදක වී තිබේ. කාර්ය බහුලත්වය, එකිනෙකා පරයා නැඟීසිටීමට ඇති නොසන්සිඳෙන ආශාවන්. ඉවසීම හීන වීම, ධන සම්පත් ඉපීයීම සඳහා දරන තරගකාරි උත්සාහය ආදි මානව සමාජය ඔද්දල් කරන ලද හැසිරීම් නිසා අද නිවීමක් නොව දැවෙන අපායක් මිහිපිට නිමවා ඇත . බුදු දහමේ ඉගැන්වෙන මූලික හරයෙන් ඔබ්බට ගිය මේ සමාජ හැසිරීම සහ එහි ආදීනව පෙරළා මිනිසාට අවබෝධ වීමට නම් ධර්මානුකූල ජිවිතයක් සඳහා යළි ප්‍රවිෂ්ට විය යුතුය. ඒ සඳහා වෙසක් පොහොය තරම් සුදුසු දිනයක් තවත් නොමැති තරම්ය.

ධර්මික සමාජයක් තුළින් තහවුරු වන්නේ මුළු මහත් සත්ත්ව සමාජයටද, පරිසරයට ද ජීවත් වීමේ අයිතිය ඇතුළු සියලු ආකාරයේ අයිතිවාසිකකම් භූක්ති විඳීමට ඇති නිදහසයි. එම නිදහස මානව සමාජය තුළ ප්‍රතිෂ්ඨාපනය වන්නේ පුද්ගලයාගේ කල් ක්‍රියාව මතයි. සෑම සත්ත්වයෙක් කෙරෙහිම පතළ කරුණාව, දයාව , ගරුත්වය යන සිතිවිලිවලින් මනුෂ්‍ය සන්තානය පොහොසත් නම් එම සමාජයේ සියලු දෙනාම බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙති. එහෙත් අවසනාවකට මෙන් වත්මන් සමාජය මෙවැනි පුරුෂාර්ථවලින් අතිශයින්ම හීන බවට පත්ව සුචරිතයෙන් තොර මුග්ධ සමාජයක් නිර්මාණය කරගෙන ඇත. එසේ සිදුව ඇත්තේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව වටහා ගැනීමට අපොහොසත් වීම සහ මෙනෙහි නොකිරීම නිසයි.

කාර්ය බහුලත්වය නිසා වැඩි පිරිසක් ආගම දහම ඇසුරු කරගෙන ජීවත්වීමට ඇති කාලය සීමිත කර ගෙන ඇත. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය නමැති ලෝක ධර්මතාවට සිහි නුවණ යෙදවීමක් දක්නට නොලැබෙයි. බෞද්ධයා විසින් නිරන්තරයෙන් සිහි කැඳවිය යුතු සියල්ලෙහි අනිත්‍ය ස්වභාවය පසෙකලා මමායනයෙන් දිවි ගෙවීමට දරන උත්සාහය නිසා ආගමානුකූලව ජීවත්වීමේ මාර්ගය සමාජයෙන් ගිලිහි ගොස් තිබේ.

වත්මන් සමාජය ධාර්මික දිවි පෙවෙතින් ඈත්ව ඇති පසක් කරන හොඳම සාධකය වන්නේ තරුණ ප්‍රජාවයි. තවද, ඉක්මනින් කිපෙන සුළු ප්‍රකෝපකාරි බව, අනෙකා කෙරෙහි පවතින ඊර්ෂ්‍යාව මුසු ප්‍රතිචාර නිසා දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇත. තරුණ අසහනය, නොසන්සුන්තාව සහ අපේක්ෂා භංගත්වයෙන් ඔද්දල් වුණු ඇතැම් තරුණ ජීවිත මත්ද්‍රව්‍ය ජාලයේ ගොදුරු බවටත් පත්ව තිබේ. මුදල් ඉපයීමට කෙටි මාර්ග සෙවීම, තමාට පැවරී ඇති සමාජ වගකීම සහ වගවීම සුළු කොට තැකීම අද හිස ඔසවා ඇති පාතාලය කේන්ද්‍ර කර ගත් අපරාධ සහ විශේෂයෙන් ඉකුත්දා මතු වුණු විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ ඇතිව තිබෙන අතිශය පිළිකුල් සහගත හැසිරීම් ඊට සාක්ෂි දක්වයි. නමුත් කිසිවෙකුටත් හිංසාවක් පීඩාවක් ඇති නොවන තැනට තම ජීවිතය ගුණ ධර්මවලින් සරසවා ගත හැකි ජීවන ක්‍රමයක් තනා ගැනීමට නොහැකියාවක් නොමැත.

ගුණ ධර්මවලින් සෝදා පාළුවට ලක්ව ඇති සමාජය යළි එකිනෙකා කෙරෙහි මෛත්‍රිය කරුණාව දක්වන සංහිඳියාත්මක සමාජයක් උදෙසා පරිවර්තනය කිරීමට ඇති එකම මඟ බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් ජීවිතයට බද්ධ කර ගැනීමයි. ඒ සඳහා පංචශීල ප්‍රතිපත්තිය දිවි හිමියෙන් ආරක්ෂා කරන පුද්ගලානුබද්ධ ස්වයං වාරණයක් සඳහා සියල්ලෝම පෙළ ගැසිය යුතුයි. සැමට සුවසේ දිවි ගෙවිය හැකි සමාජයක් මෙන්ම බුද්ධ භාෂිතයේ මුඛ්‍ය පරමාර්ථය වන උතුම් නිවන කරා යන ගමනට ප්‍රවේශ වීමට නම් ධර්මානුකූල ජීවිතයකට සමස්ත මානව සමාජයම දැන් දැන් අවතීරණ විය යුතුව ඇත. ඒ සඳහා ප්‍රගුණ කළ යුත්තේ සීලය ආරක්ෂා කරන මාර්ගයයි.

බුදු දහමේ ඉගැන්වීම් වෙත දරුවන් සහ තරුණ සමාජය යොමු කරවීමේ වගකීම පැවරි තිබෙන්නේ මවුපියන් සහ ගුරුවරුන්ටයි. සමාජය අගයන දැහැමි දිවි පෙවෙතක් ගත කළ යුත්තේ කෙසේ ද යන්න ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීම වැඩිහිටි සමාජයට පැවරී තිබේ. නරක යැයි සම්මත පිළිකුල් කරන ක්‍රියාවන්ගෙන් වැළකී ආගාමානුකූල මාර්ගයට යොමු වීම දරුවන් ඉගෙන ගන්නේ මවුපියන් සහ ගුරුවරුන්ගෙනි. එමෙන්ම තරුණ ප්‍රජාව මේ දෙපාර්ශ්වයට අමතරව සමාජය විෂයෙහි දැඩි බලපෑමක් ඇති කරන දේශපාලනයේ නිරත ඇත්තන් ද අනුකරණය කරයි. එම නිසා ඔවුන් ද ආදර්ශවත්ව කටයුතු කිරීම අතිශයින්ම අවධාරණය කළ යුතු පැතිකඩකි. දුසිරිතයට අනුබල දෙන ක්‍රියාවන් සමාජය ඔවුන්ගෙන් බලාපොරොත්තු නෙවෙයි. ඔවුන්ගේ කල් ක්‍රියාවන් ආභාසයට ගනිමින් සමාජය අධාර්මිෂ්ට තැනකට වැටෙන්නේ නම් එය අතිශයින්ම සෝචනීයය. අල්ලස ,දූෂණය ඔඩු දුවන සමාජයක තරුණ ප්‍රජාව අපේක්ෂා කරන සාධාරණය දක්නට නොලැබෙයි. ඔවුන් පෙරළා සමාජයට වෛර කරයි.

දැහැමින් සෙමින් උපයා ගැනීම, එකිනෙකා කෙරෙහි සංහිඳියාව ඇති කර ගැනීම වැනි පුරුෂාර්ථ ධර්මයන් ඉගැන්වෙන ලොව විශිෂ්ටතම ඉගැන්වීම බුදු දහමයි. බුදුන් වහන්සේගේ පාද ස්පර්ෂයෙන් පිදුම් ලද උතුම් දේශයක ජන්ම ලාභය ලැබීමට වරම් ලද අපට උන් වහන්සේ වදාළ ධාර්මික දිවි පැවැත්මට ප්‍රවිෂ්ට වීම අපහසු කාර්යයක් නොවේ.

සැබැවින්ම, ඇතැම් ආගම් මෙන් නීතිමය රාමුවකට පුද්ගලයා බැඳ නොතබන ස්වාධීන , නිදහස් දර්ශනයකි බුදු දහම. තම තමන්ම අවබෝධ කරගෙන නිවැරැදි මාර්ගයට යොමු වීමට බෞද්ධයාට ඇති ඉඩ හසර බුදු දහමේ ඇති සුවිශේෂි ලක්ෂණයකි. මනුෂ්‍යත්වය අගයන සමාජයක් ගොඩනැංවීමට ඇති ප්‍රායෝගික මාර්ගය තම තමන් ධාර්මික වීමට උත්සාහ ගැනීමයි. ජීවිතාවබෝධය ඇති තාක් සමාජය නොමගට නොයයි. මෙම යථාවබෝධය ලැබෙන්නේම ප්‍රතිපත්තිමය පූජාවන්ට මුල් තැන දීමෙනි. සිල් රැකීම, භාවනා කිරීම තුළින් පුද්ගල සන්තානය පිරිසුදු වෙයි. පෙරළා තවකෙකුට හිංසා පීඩා කර සතුටු වීමේ මුග්ධ සිතිවිලි මතු නොවන ස්වයං සංවරයක් ඇති වන්නේ ම සීලයක් ආරක්ෂා කිරීම සහ සිත දමනය කරවන භාවනාව ප්‍රගුණ කිරීමෙනි. උතුම් වෙසක් පොහොය දිනය සමරන මේ මොහොතේ සියල්ලෝම මේ මාර්ගයට අවතිර්ණ වීමට වෙහෙස විය යුතුය . ඒ සඳහා නිසි මං විවර කර දීමට අනුග්‍රහයක් ලෙස මහා සංඝරත්නය ද අති මහත් කාර්ය භාරයක් ඉටු කරමින් සිටිති.

සමාජය පිරිහෙන්නේම ආගම දහමින් ඈත්වීමේ ප්‍රතිවිපාකය නිසයි. යහපත් සමාජයක් සඳහා අවශ්‍ය පොදු පිළිවෙත බුදු දහමේ හර පද්ධතීන් සමඟ ගළපා ගෙන ඒ අනුව කටයුතු කරන්නේ නම් පෞද්ගලිකව තම ජීවිතයත් සමාජයත් තම මාතෘ භූමියත් බබුළුවා ගත හැකි බව වටහා ගත යුතුව ඇත. ඒ සඳහා පිළිවෙතින් පෙළ ගැසීමට හැකි හොඳම මොහොත වෙසක් පොහොයයි. මේ උතුම් නිමිත්ත මත පිහිටා පංචශීලය ආරක්ෂා කරමින් ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරු වෙමින් උසස් ගුණ ධර්මවලින් තම ජීවිත ආලෝකවත් කර ගන්නා ලෙස මහත් කරුණාවෙන් ලෝකවාසි බෞද්ධ ජනතාවට අපි සිහිපත් කරමු.

සකුන්තලා ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT