Home » දේශීය ආර්ථිකය නංවන්න දේශීය කර්මාන්ත වැඩි කරමු

දේශීය ආර්ථිකය නංවන්න දේශීය කර්මාන්ත වැඩි කරමු

by sachintha
May 13, 2025 1:27 am 0 comment

“දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නවමු ප්‍රවේශයන් විවර කර ගැනීම” යන මැයෙන් ආචාර්ය නිශාන්ත නානායක්කාර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.

ලෝක දේශපාලනය හා ආනයන අපනයන ආර්ථිකය අතර පවතින්නේ දෘඪ සබඳතාවකි. ඉකුත්දා අමෙරිකාව විසින් ලංකාවට බලපාන පරිදි සියයට 44ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ දේශීය ආර්ථිකයට එනයින් සිදු කළ හැකි බලපෑම සම්බන්ධයෙන් කතිකාවක් නිර්මාණය වී ඇත. මෙහිලා වඩාත් වැදගත් වන්නේ විදෙස් ආර්ථික බලපෑම්වලට හසු කරගත නොහැකි වන ආදායම් උත්පාදන ප්‍රවේශයන් හඳුනාගෙන එම ක්ෂේත්‍ර දියුණු කිරීමයි.

අපනයන ආර්ථිකය සවිබලගැන්වීම සඳහා අපි මෙතෙක් භාවිත කළ ඇතැම් මෙවලම් තරගකාරී ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ යල්පැනගිය ස්වභාවයක් පෙන්වයි. මේ නිසා වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකි නවෝත්පාදන නිෂ්පාදන ක්ෂේත්‍ර කරළියට ගැනීම සඳහා වූ ව්‍යායාමයට අප අවතීර්ණ විය යුතුය. ලංකාවේ අපනයන ආර්ථිකය තේ, පොල්, රබර් සහ ඇඟලුම් කර්මාන්තය බවට වූ සාම්ප්‍රදායික රාමුවෙන් බැහැර වී අප විසින් වැඩිදියුණු කළ යුතු වඩාත් විභවතාවක් ඇති ක්ෂේත්‍ර ලෙස දේශීය කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව සහ බලශක්තිය හඳුන්වා දිය හැකිය.

සිය ආර්ථිකය ස්වයංපෝෂිත කිරීමෙහිලා ලොව බොහෝ රටවල් තම මූලික පියවර තබන්නේ දේශීය කර්මාන්ත වෙතයි. ඉකුත් සමයේ ආනයනික වෙළෙඳපොළ මත යැපීමේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් බොහොමයක් දේශීය කර්මාන්ත අකර්මණ්‍ය විය. ඇතැම් ඒවා මුළුමනින්ම වැසී ගියේය. අමුද්‍රව්‍ය හිඟය, යල්පැනගිය තාක්ෂණය, නිෂ්පාදන වියදම ඉහළ යාම වැනි හේතු නිසා ද මේ කර්මාන්ත අර්බුදයන්ට මැදි විය. නමුත් වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය සමඟ දේශීය ආර්ථීකය වඩාත් ශක්තිමත් කළ හැකි අපනයනය දක්වා පුළුල් කළ හැකි කර්මාන්ත නැවත නඟාසිටුවීමට කඩිනමින් විය යුතු අවශ්‍යතාවක් ලෙස අපි අවධාරණය කරමු.

අමුද්‍රව්‍ය ආනයනය කිරීමෙන් යැපීමේ ක්‍රමවේදය වෙනස් කර දේශීය කර්මාන්ත සඳහා රට තුළින්ම අමුද්‍රව්‍ය වෙළෙඳපොළක් සකසා ගැනීම මූලික පියවර විය යුතුය. එමෙන්ම මෙතෙක් අපනයනයට විවිර නොකළ නවමු ක්ෂේත්‍ර පණගැන්විය යුතුය. මීට හොඳම උදාහරණයක් ලෙස කුරුඳු නිෂ්පාදනය හැඳින්විය හැකිය. සිනමන් ටී යනු නව ප්‍රවණතාවකි. එමෙන්ම ආයුර්වේදීය නිෂ්පාදන සඳහා ද අද ලෝක වෙළෙඳපොළේ ඇත්තේ මෙතෙක් නොවූවිරූ ඉල්ලුමකි. මීට කදිම උදාහරණයක් ලුණුවිල ආයුර්වේද ශාකය හැඳින්විය හැකිය . මෙය ලංකාවට පමණක් සුවිශේෂි ය. දරුවන්ගේ බුද්ධි වර්ධනය සහ මොළයේ ක්‍රියාකාරීත්වය වඩවන ශාකයකි. අපගේ සැපයුම් දාමය මෙහෙයවිය යුත්තේ මෙම අලුත් දිශානතීන් දෙසටය. අද යුරෝපීයන් සහ පෙරදිග ලොකයේ රටවල් සොයමින් සිටින්නේ මෙවැනි නිපැයුම්ය. ඔවුන් සොයන සම්පත්වලින් ආඪ්‍ය වූ අප වැනි රටවලට ඔවුන්ගේ පාරිභෝගික වෙළෙඳපොළ ක්ෂේම භූමියක් කර ගැනීමට කිසිදු බාධවක් නැත.

අප විසින් වැලඳගත යුත්තේ අමෙරිකාව වැනි රටවල් විසින් බියගැන්වීමෙන් සූරා කෑමට ගන්නා වෙළෙඳපොළ හස්තයන් නොව දේශීය සම්පත්වලට අගය එකතු කරමින් ආමන්ත්‍රණය කළ හැකි නව වෙළෙඳපොළ වෙතය. අද යුරෝපා රටවල් සහ මැද පෙරදිග රටවල් සිය පරිභෝජන සංස්කෘතිය තුළ ඇති කරගෙන තිබෙන නවමු අවශ්‍යතා හඳුනාගෙන ඒ සඳහා අපේ අපනයන නිෂ්පාදන කර්මාන්තවල සැපයුම් දාමය බලගැන්වීම අතිශය කාලෝචිත ආර්ථික ක්‍රමෝපායක් ලෙස පෙන්වා දිය හැකිය.

මීළඟට වැදගත් වන්නේ ආහාර සුරක්ෂිතතාවයි. මෙය පෘථුල විෂයයකි. කලින් කලට එන විදෙස් ආර්ථික කුණාටු හමුවේ නොවැටී සිටීමට ඇති ඒකායන මාර්ගය ආහාර සුරක්ෂිතාවයි. ආහාර විවිධාංගීකරණය, පසු අස්වනු තාක්ෂණය, නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම සහ වැඩිදියුණු කළ තාක්ෂණය යොදා ගැනීම, ගබඩාකරණය යන ක්ෂේත්‍ර මේ සමඟ බද්ධ වී ඇත. ලංකාවේ සහල් වෙළෙඳපොළ, එළවළු, පලතුරු සඳහා අගය එකතු කිරීම යනු දේශීය ආර්ථිකයේ මර්මස්ථානයට කරන පණගැන්වීමකි.

එමෙන්ම වඩාත් වැදගත් වන අනෙකුත් ක්ෂේත්‍රය වන්නේ බලශක්තියයි. අද ලෝකයේ බලවතුන් බිහිවන නිර්නායකය න්‍යෂ්ටික ශක්තිය නොව බලශක්තියයි. බලශක්තිය යනු තනිකරම රටක ආර්ථිකය ශක්තිමත් කරන නිෂ්පාදන ක්ෂේත්‍රය දරා සිටින කොඳු නාරටියයි. ගෑස්, ඉන්ධන, ජලවිදුලිය අද ලෝකයේ බලශක්ති ප්‍රභව ලැයිස්තුවේ පසුවන්නේ මැද පෙළෙහිය. අද ලෝක ප්‍රජාවම නැඹුරු වී ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහිය. සූර්ය බලය සහ සුළං බලයෙන් ජනනය කරගන්නා බලශක්තිය ගබඩාකරණය තුළින් ලොව බලවත් කර්මාන්ත පවා රඳාසිටින්නේ නම් අද අපි සිටින තැන බොහොම ශෝචනීයය. ශ්‍රී ලංකාව තවමත් ජලවිදුලි බලයෙන් සෑහීමට පත්වීම වහා වහා වෙනස් විය යුතුය. කර්මාන්ත පමණක් නොව ගෘහස්ථ බලශක්ති අවශ්‍යතාව සපුරා දීම සඳහා සෑම වහලයකම සූර්ය පැනලයක් සවි කිරීම සඳහා වූ දැවැන්ත කතිකාවන් මතු වුවද අත්නෝමතික ඒකාධිකාරයන් නිසා අදටත් විදුලි කප්පාදුව මත සිය ඉරණම රඳා පවතින රටක් බවට පත්ව ඇත. චීනය අද ලෝකයේ සෝලා තාක්ෂණය මඟින් මුළු ලෝකයම ග්‍රහණයට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට අතිශය මිත්‍රශීලීව දෑත් දිගු කර ඇති චීනයෙන් මෙවැනි නව්‍ය ප්‍රවේශයන් විවර කර ගැනීමට සහාය ලබාගත හැකිය. එමෙන්ම වත්මන් රජය දේශීය ආර්ථිකයේ විප්ලවයක් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරමින් දේශීය ආර්ථිකය පණගැන්වීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ට සහ ආයෝජකයින්ට කල් නොමරා ආරාධනා කිරීම මුඛ්‍ය කාර්යය බව අපේ හැඟීමයි.

සකුන්තලා ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT