ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප විසින් සුබපැතීම් සඳහා විවිධ දිනයන් අනුස්මරණය කිරීම් සිදු කරනු ලබන අතර, එය තම සංස්කෘතික සහ ඇදහීම් අනුව වෙනස්කම්වලට භාජනය වුව ද උපන් දින සුබ පැතුම්, අලුත් අවුරුදු සුබ පැතුම්, විවාහ ගිවිසගැනීම් වැනි සුබ පැතුම් අතර වෙසක් සුබ පැතුම් විශේෂ වෙයි. වෙසක් යන වදන සුන්දර මතක ගොන්නක් මතකයට නංවන අතර මෙම වදන හා බැඳි වෙසක් සැමරුම් රැසක් තිබේ. වර්තමානය වන විට එම වදන හා බැඳි සිදුවීම් කාලානුරූපීව වෙනස්කම්වලට ලක් වී ඇති අතර වෙසක් පත් හුවමාරු කිරීමේ සංස්කෘතිය අභාවයට ගොස් තිබේ. දැනට දශක දෙකකට පමණ පෙර කාලයේ දී තැපැල් දෙපාර්තමේන්තුවට වැඩ අධිකම කාලයක් වූයේ වෙසක් සමයයි. වෙසක් නිවාඩු දිනවල පවා තැපැල් සේවකයන් රාජකාරි කරමින් සුබ පැතුම්පත් නිවෙස්වලට බෙදාහැරිය බව අපට මතකය. වෙසක් සුබ පැතුම්පත් හරියටම වෙසක් දිනයේදී ලැබෙන්නට තැපැල් කළ අය වූහ. මෙහි විශේෂත්වය වූයේ එක ගෙදර එකට ජීවත් වන අය පවා සුබ පැතුම්පත්වලින් සුබපතා ගැනීමය. දරුවන් මවුපියන්ට වෙසක් කාඩ් යැවූ අතර මවුපියෝ ද දරුවන්ගේ නමට වෙසක් කාඩ් යැවූහ. සහෝදර සහෝදරියන් අතර ද මේවා හුවමාරු විය.
තම මිතුරාට, සහෝදරයාට සහ හිතවතාට ආදී වශයෙන් පවත්වාගෙන යන්නා වූ මානව සම්බන්ධතා තුළ මිනිසුන් වශයෙන් අපට ඔවුන්ව නිබඳව මතකයට නැඟෙන බව හැඟවීම සඳහා මෙම කාලසීමාවේ දී විවිධ වටිනාකම් සහ විවිධ වූ තේමාවන් මූලික කර ගනිමින් නිර්මාණය කරන ලද වෙසක් පත් මිලදී ගෙන ඒවායේ අන්තර්ගතය සඳහා කාව්‍ය සංකල්පනා නිර්මාණය කොට සටහන් කරමින් ඔවුන් වෙත ලැබීමට සලස්වනු ලැබේ. මෙහිදී කුඩා දරුවන් විසින් අලංකාරවත් සහ තමන් මිලදී ගනු ලැබූ වටිනාකමින් වැඩි වෙසක් පත් තමාට වඩාත් සමීප පුද්ගලයා වෙත ලැබීමට සැලැස්වීම පාසල් කාලය තුළ සිටින දරුවන් තුළින් දැකිය හැකි වේ.
අතීතයේ දී ආදර සම්බන්ධතා වැඩිදියුණු වීමට ද වෙසක් පත් භාවිතය හේතු වූ අතර තරුණ තරුණියන් අතර ආදර හසුන් හුවමාරුවට පෙර වෙසක් පත් යැවීමෙන් ආදරයේ මූලික අඩිතාලම සකස් කරගැනීමට තරුණ පරපුරට හැකියාව ලැබුණි. පෙම්වතා පෙම්වතියට යැවූ වෙසක් පතට පිළිතුරු වශයෙන් පෙම්වතියගෙන් වෙසක් පතක් පෙම්වතාට ලැබුණු අතර ඇතැම් අවස්ථාවන්වල සුළු සුළු අමනාපකම් ඇතිව සිටියවුන් පවා වෙසක් පත් මඟින් සමගි වූ අවස්ථා නැතිවා ද නොවේ. කාලයත් සමඟ ජීවන අරගලයේ නිරත තාක්ෂණයේ අතවැසියකු වූ මිනිසාට තම ප්‍රියතමයන් හා තම සමීපතමයන් වෙනුවෙන් වෙසක් පත් මිලදී ගැනීම අමතක වී ඇත.
අදින් දශක කිහිපයකට පෙරාතුව වෙසක් මාසය යනු ගම්, නගර සියල්ලෙහි වෙසක් කාලය සංකේතවත් කරමින් අලෙවියට වෙසක් පත් තබා තිබෙන්නා වූ වෙළෙඳසල් බහුල විය ‘ඒවායේ වෙලඳාම ද ඉතාම සරුය. නෑදෑකම අනුව වෙන්කළ වෙසක් කාඩ් එම වෙළෙඳ කුටිවල රාක්ක තුළ තිබිණ. අක්කා, අයියා, පුතා, දුව, පෙම්වතා ආදී වශයෙන් මේවා වර්ග කර රාක්කවල වෙනම තට්ටුවල තබා තිබුණා අපිට මතකය.
අයියා නංගීට යවන වෙසක් පත්, පෙම්වතා පෙම්වතියට යවන ඒවා ආදී වශයෙන් වෙළෙඳපොළට පැමිණෙන තැනැත්තා තමාට අවශ්‍ය කාඩ්පත එම රාක්කයෙන් තෝරා ගන්නේය. ඒවාට අවශ්‍ය කවර සහ මුද්දර ද එතැනින්ම ලබාගත හැකිවිය. නමුත් වර්තමානය වනවිට එම තත්ත්වය අභාවයට ගොස් ඇති ආකාරයක් දැකගත හැකිවන්නේ එවැනි වූ වෙසක් පත් අලෙවිය සඳහාම නිර්මාණය වූ වෙළෙඳසල් වර්තමාන සමාජය තුළ දුලබ දසුනක් බවට පත්වී ඇති නිසාවෙනි.
එදවස වෙසක් පත් සඳහා නිර්මාණයන් සිදු කරමින් තම දායකත්වය සපයනු ලැබූ පැරණි සිත්තරුන් ද වාසය කළ අතර, ජී.එස්. ප්‍රනාන්දු, ජී.එල්. ගෞතමදාස, මොටාගෙදර වනිගරත්න, ජයසිරි සේමගේ, හෙන්රි ධර්මසේන ආදී ප්‍රවීණ චිත්‍ර ශිල්පීහු ඒ අතර වූහ. කලක් සරත් මධූ ඇඳි බුදුරුව සහිත වෙසක් කාඩ්වලට දැඩි ඉල්ලුමක් විය. සුසිල් ප්‍රේමරත්න, වටරැක ප්‍රේමදාස ආදී බොහොමයක් පිරිස් වෙසක් කාඩ් නිර්මාණයේ නියැළුණු චිත්‍ර ශිල්පීන්ය. වෙසක් කාඩ් සඳහාම චිත්‍ර ඇන්ද චිත්‍ර ශිල්පීන් මෙන්ම කවි ලියූ කවියන් ද සුවිශේෂ විය. මීට කලකට ඉහත වෙසක් කාඩ් සඳහාම කවි ලියා ගතමනාවක් ලබාගත් කවීන් ද සිටි බව අප අමතක නොකළ යුතුය. ජී.එච්. පෙරේරා, ආනන්ද රාජකරුණා, ජේ.පී. වික්‍රමතිලක නොතාරිස් රාලහාමි, පණ්ඩිත ගුණවර්ධන, ආර්. සරණසේකර, ඒ.ටී.සී. ජිනදාස, බෙන්තොට ඇල්බට් සිල්වා, බැන්ටිස් රණවීර, ඉංගිරියේ ධර්මසිරි හරිස්චන්ද්‍ර, මුල්ලපිටියේ කේ.එස්. ද සිල්වා, සෝමවීර චන්ද්‍රසිරි, ධර්මසිරි හරිස්චන්ද්‍ර ආදී ප්‍රකට කවි කිවිඳියෝ අතීතයේදී වෙසක් පත්වලට කවි ලියූ අය අතර වූහ.
එපමණක් ද නොව වෙසක් පත් කර්මාන්තය හේතුකොට ගෙන ව්‍යාපාරික ලෝකය තුළ තම නාමය රැඳවූ දේශීය ව්‍යාපාරිකයන් ද විය. සුජිකලා වෙසක්පත් ඊට හොඳ උදාහරණයකි. එනමුත් වර්තමානය වන විට එම තත්ත්වය උඩුයටිකුරු කරමින් තාක්ෂණය වෙසක් සැමරුම් උත්සවය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වුණු ක්‍රියාවලීන් සියල්ල තම ග්‍රහණයට නතුකරගෙන ඇත. වර්තමාන මිනිසා තාක්ෂණය කේන්ද්‍ර කරගනිමින් කටයුතු කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇත. එහි අයහපත් තත්ත්වයක් වනුයේ සියල්ලම සුළු මොහොතක් තුළ සිදු වී අවසන් වීමයි. සිත්තරුන් විසින් අඳිනු ලබන චිත්‍ර වෙනුවට තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද චිත්‍ර වෙසක් පත් නිර්මාණ සඳහා භාවිත කිරීම ඒ අතරින් විශේෂ වේ. එවැනි වූ තාක්ෂණික භාවිතයන් ඔස්සේ නිර්මාණ සිදු කිරීම රැකියා අවස්ථා අහිමි කරනු ලබනවා පමණක් නොව පුද්ගල සංතෘප්තිය ද නිහීන කරනු ලබයි.
සුන්දර මතකයන් ආවර්ජනය කිරීමට මංපෙත් විවර කරනු ලැබූ වෙසක් පත් සංස්කෘතිය තාක්ෂණයේ ආගමනයත් සමඟ අභාවයට යමින් තිබීම කනගාටුවට කරුණකි. සන්නිවේදන මෙවලමක් වශයෙන් ජංගම දුරකතනය සහ අන්තර්ජාලය භාවිතය නවීන මානවයා කාර්යබහුල සන්නිවේදන සත්ත්වයකුගේ තත්ත්වයට පත්කොට ඇත. ස්මාර්ට් ජංගම දුරකතනය ඔස්සේ අන්තර්ජාල භාවිතය ඇඟිලි තුඩක දුරට පත්ව තිබීම සහ සන්නිවේදන මෘදුකාංග වශයෙන් Whats App, Massenger, Telegram වැනි සන්නිවේදන මාධ්‍යයන්ගේ වර්ධනය නව සංස්කෘතියක් නිර්මාණය කරමින් සිටියි.
එබැවින් එදවස සුන්දර මතකයන් නැවත නැවත ආවර්ජනය කරමින් සන්නිවේදනයේ යෙදීමට භාවිත කළ හැකි වෙසක් පත් සංස්කෘතිය රැක ගැනීම වෙනුවෙන් පුරවැසියන් ලෙස අප විසින් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. වෙසක් සුබ පැතුමකින් ලබන සතුටක්, වින්දනයක්, උද්දීපනයක්, ආගමික ආශීර්වාදයක් ඊනියා තාක්ෂණ ක්‍රමවේදවලින් ලබාගත හැකි ද යන්න තීරණය කිරීම පාඨකයාට භාර කරමි.
ඩී. එම්. ජයනි චානිකා