Home » මාතර කොප්පරාවත්ත වෙසක් තොරණ

මාතර කොප්පරාවත්ත වෙසක් තොරණ

by sachintha
May 13, 2025 1:31 am 0 comment

වෙසක් පුර පසළොස්වක පොහොය හා බැඳී පවතින එක් ප්‍රධාන විශේෂ අංගයක් වනුයේ වෙසක් තොරණයි. තොරණ කලාවේ මූලාරම්භක තොරණ අතර මෙම කොප්පරාවත්ත වෙසක් තොරණ ද දක්නට ලැබේ.

කොප්පරාවත්ත තොරණ, මාතර, උයන්වත්ත ප්‍රදේශයට අයත් කොප්පරාවත්ත ගමෙහි පවත්වන අතර මෙම තොරණ මේ වසරේදී පවත්වනු ලබනුයේ 27 වැනි වතාවටයි. තොරණෙහි ඉතිහාස කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ප්‍රදේශයේ පදිංචි කොප්පරාවත්ත එක්සත් බොදු හවුලේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන සමීර මහතා අදහස් ප්‍රකාශ කළේය.

කොප්පරාවත්ත තොරණේ ඉතිහාස කතාව

“ මෙම තොරණයෙහි අවුරුදු විසි හතක ඉතිහාසයක් සාක්ෂි වශයෙන් තියෙනවා. නමුත් අවුරුදු තිස්පහක පැරණි ඉතිහාසයක් මේ සම්බන්ධයෙන් පවතිනවා. මෙය සත්‍ය වශයෙන් ඉදිරිපත් කළ හැකි මිනිසුන් සිටින්නේ අවුරුදු විසි හතක කාලපරාසයක පමණකි. මේ හා සම්බන්ධ වූ ලොකු පිරිසක් ගමේ සිටි අතර අතීත කතාව දන්නා මිනිසුන් කිහිපදෙනෙකු පමණක් වර්තමානයේ ජීවතුන් අතර සිටියි. ඔවුන්ගෙන් අසා තමයි අපි මේ තොරණ කිරීමට යොමු වුණේ.

මෙම තොරණ 1980 දශකයේ දී පමණ ආරම්භ කර ඇති බවට සාක්ෂි තිබෙනවා. මෙම තොරණ මුලින්ම පටන් ගනුයේ ගමෙහි සිටි ගැහැනු පිරිසයි. ශ්‍රී පාදය තමයි මුලින්ම නිර්මාණය කර තිබෙන්නේ. ගැහැනු පිරිස පොල් ගස් සොයාගෙන ගෙනවිත් ඒවා සුදුසු පරිදි සකස් කර ශ්‍රී පාදය හරිගස්වමින් එහි උඩම ශ්‍රී පතුල නිර්මාණය කර මිනිසුන්ට උඩට නැඟ සාධුකාර දිය හැකි ලෙස නිර්මාණය කර තිබූ බව ඒ කාලයේ අය පවසනවා.

ඉන් පසුව අවුරුදු 8ක් වැනි කාලයක් තොරණ නිර්මාණය වුණේ නැහැ. පසුව ගමේ තරුණ පිරිස එකතු වෙලා පහන් කූඩුවක් නිර්මාණය කළා පටාචාරා වහන්සේගේ කතා වස්තුව ආශ්‍රයෙන්. මේ පහන් කූඩුව නිර්මාණය කළාට පසුව තමයි ගමේ මිනිස්සු කතාවෙලා තියෙන්නේ ඉස්සර කොප්පරාවත්ත තොරණ කළා ඒක නිසා නැවත ආරම්භ කරන ලෙස.මාතර දිස්ත්‍රික්කයේ ලොකු ප්‍රසිද්ධියක් කොප්පරාවත්ත තොරණට තිබෙන බවට අදහස් ඒ කාලේ අසන්නට ලැබුණා.” මෙලෙස කොප්පරාවත්ත තොරණේ මූලාරම්භයට මුලපිරුණු අයුරු ගැන අදහස් දක්වමින් කොප්පරාවත්ත එක්සත් බොදුහවුලේ සභාපති එච්.එස්. සමීර මහතා පැවසුවේය.

කොප්පරාවත්ත තොරණේ නිර්මාතෘවරයා

1998 වර්ෂයේ එච්.එස් ලක්ෂ්මන් විසින් බර්ට්න් විදුලි ශිල්පියා හවුල් කරගෙන නැවත තොරණ කලාව ආරම්භ කිරීමට මුල පුරන ලදි. එහි දී චුල්ලපදුම ජාතකය පෙරදැරි කරගෙන තොරණ ජනතාව වෙත ප්‍රදර්ශනය කර ඇති බවත් ඒ හා සමගාමීව වෙසක් නාට්‍ය, දන්සල්, විරිදු ආදී බොහෝ දෑ සිදු කර තිබේ. ඔහු විසින් 2008 වන තෙක් තොරණ කලාව සිදු කර ඇති බැව් සඳහන් කරනු ලබයි. උම්මග්ග ජාතකය, පදුම ජාතකය, ඉති ජාතකය, සුතසෝම ජාතකය යනාදී ජාතක කතා රැසක් එක දිගට 2008 වන තෙක් ඔහුගේ මූලිකත්වයෙන් සිදු වූ බැව් එච්.එස්. සමීර මහතා පැවසීය.

Òතාත්තා අවුරුදු 10ක් එක දිගට තොරණ කළා. ඒත් 2008 අවුරුද්දේ තාත්තා අසනීප වුණා. එම නිසා තොරණේ සභාපතිකම මම භාර ගත්තා. පච්චසූකර කතා වස්තුව තමයි 2009 අවුරුද්දේ පෙන්වීමට බලාපොරොත්තුව සිටියේ. විදුලි ශිල්පියා ලෙස කටයුතු කළේ චමින්ද හිත්තැටිය. 2009 තොරණ සාදා දවස් 02කට කලින් තමයි තාත්තා නැති වුණේ. ගමේ අය තොරණ නවත්තන්න කිව්වා තාත්තාගේ මරණය තියන් තොරණ පෙන්වන එක හොඳ නෑ කියලා. ඒත් ඒ වෙනකොට සියලු ආධාර මුදල් එකතු කර තොරණ පෙන්වීමට කටයුතු කර තිබූ නිසා මම ඒ අවුරුද්දේ තොරණ ජනතාවට බැලීමට විවෘත කළා.

ඉන් පසු එක දිගට තොරණ ප්‍රදර්ශනය කළ අතර පාස්කු ප්‍රහාරය සිදුවූ අවුරුද්දේ තමයි තොරණ පෙන්වීමට නොහැකි වුණේ. මේ වන විට සම්බුදු සිරිත, පටාචාරා කතා වස්තුව, දේවධර්ම ජාතකය, අපණ්ණක ජාතකය යනාදී ජාතක කතා රැසක් ජනතාවට පෙන්නුවා.

අපි මේ වසරේ පෙන්වීමට බලාපොරොත්තු වෙන්නේ තක්ක ජාතකයයි. මෙවර තොරණේ චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කරන්නේ කිරින්දේ සරච්චන්ද්‍ර චිත්‍ර ශිල්පියායි. ඔහු අපිත් එක්ක එකතු වෙන්නේ පළමු වතාවටයි. කිරින්දේ සරච්චන්ද්‍ර චිත්‍ර ශිල්පියා මෙලෙස බොහොමයක් චිත්‍ර නිර්මාණය කිරීම සඳහා දායකත්වයක් ලබා දී තිබෙනවා. විදුලි කාර්මික ලෙස මෙවරත් චමින්ද හිත්තැටිය සම්බන්ධ වන අතර අවුරුදු කිහිපයකම දායකත්වය මේ වෙනුවෙන් ලබා දෙනවා. මැයි මාසයේ 12 වැනිදා සිට 17 වැනිදා දක්වා තොරණ පෙන්වීමට කටයුතු මේ වෙනකොටත් සූදානම් වෙමින් පවතිනවා.Ó යැයි එච්.එස්. සමීර මහතා අදහස් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.එල්. උදාරා පාරමී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT