Tuesday, May 13, 2025
Home » ජිනීවා නුවර සාකච්ඡාවකින් පසු තීරුබදු 115%කින් පහත දැමීමේ එකඟතාවක
අමෙරිකා-චීන තීරුබදු යුද්ධයට දින 90ක විරාමයක්

ජිනීවා නුවර සාකච්ඡාවකින් පසු තීරුබදු 115%කින් පහත දැමීමේ එකඟතාවක

-ජාත්‍යන්තර කොටස් වෙළෙඳපොළත් ඉහළ යයි

by sachintha
May 13, 2025 1:33 am 0 comment

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාත්‍යන්තර තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් චීනය සමඟ ඇතිකරගත් වෙළෙඳ අර්බුදයට දින 90ක තාවකාලික විරාමයක් ලබා දීමට දෙපාර්ශ්වය එකඟතාවට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ඇතුළු අමෙරිකානු නියෝජිතයන් හා චීන උප අගමැති හී ලිෆෙංග් ඇතුළු චීන නියෝජිතයන් අතර ඊයේ ජිනීවා නුවර පැවති සාකච්ඡාවකින් පසුව මේ එකඟතාවට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාව රහසිගතව සිදු කර ඇතැයි ද, කිසිදු බාහිර පාර්ශ්වයකට හෝ මාධ්‍යයකට එම සාකච්ඡාව ආවරණය කිරීමට අවස්ථාව නොලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වුවද එම සාකච්ඡාවෙන් පසු අමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් හා චීන උප අගමැති වාර්තාකරුවන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇති අතර, දෙරට අතර ඉතා ඵලදායි සාකච්ඡාවක් පැවති බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

එම එකඟතාවට අනුව දෙරටම ඔවුනොවුන්ට පනවනු ලැබූ තීරුබදු දින 90ක කාලයකට බලපැවැත්වෙන පරිදි 115%කින් පහත දැමීමට තීරණය වී ඇති අතර, එය හෙට (14) සිට ක්‍රියාත්මක කිරීමට ද එකඟවී ඇතැයි වාර්තා වේ. ඒ අනුව අමෙරිකාව විසින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩවලට පනවනු ලැබූ 145%ක තීරුබද්ද 15% දක්වා පහත වැටෙනු ඇතැයි ද, චීනය විසින් අමෙරිකාවෙන් ගෙන්වනු ලබන භාණ්ඩවලට පනවනු ලැබූ 125% තීරුබද්ද 10% දක්වා පහත වැටෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව සහ චීනය තීරුබදු සම්බන්ධව එකඟතාවට පැමිණි බවට ප්‍රකාශ කිරීමත් සමඟ තෙල් මිලද ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 2.8%කින් ඉහළ ගිය බව වාර්තා වේ. මීට අමතරව ලෝක කොටස් වෙළෙඳපොළට කැපී පෙනෙන අයුරින් ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. හොංකොං හි හැංග් සෙංග් දර්ශකය 3.4% කින් ද, බ්‍රිතාන්‍යයේ FTSE 100 දර්ශකය 0.7%කින් ද ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT