උසස් අධ්‍යාපන සහයෝගිතාව උදෙසා උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.
ශ්‍රී ලාංකේය උපාධිධාරී සිසුන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව ලබාගැනීම ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වෙනුවෙන් ගෝලීය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ප්‍රමුඛස්ථානයක පසුවන සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය (NUS) සහ මෙරට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේදී සිදු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ප්‍රධානී (Provost) මහාචාර්ය ඇරොන් තියැන් විසින් එම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා වෙත භාර දී තිබේ.
මේ අවබෝධතා ගිවිසුමෙන් ශ්‍රී ලාංකේය සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි ඇතුළු පශ්චාත් උපාධි හැදෑරීමටත්, ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමටත් අවස්ථා හිමිවේ. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග නානායක්කාර මහතාගේ මඟපෙන්වීම සහ පූර්ණ කැපවීමෙන් ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවට මේ අවස්ථාව ලබා ගැනීමට හැකිව ඇත.
මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා මෙලෙස කීවේය.
“ගිවිසුමට එළැඹීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී සතියක කාලයකදී ඊට අත්සන් තැබීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා. ඒ වෙනුවෙන් සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයට ගෞරවනීය ස්තූතිය පිරිනමනවා. විශේෂයෙන් සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග නානායක්කාර මහතාගේ දායකත්වය සහ මේ මහඟු කර්තව්‍ය සාර්ථක කරගැනීමේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු එම අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ මහකොමසාරිස් කාර්යාල කාර්ය මණ්ඩලයේ දායකත්වය වෙනුවෙන් ද ස්තූතිවන්ත වෙනවා.”
NUS ප්‍රධානී, මහාචාර්ය ඇරොන් තියැන් මහතා මේ ගිවිසුමෙන් ශ්‍රී ලාංකේය පශ්චාත් උපාධි සිසුන්ට හිමි වන අවස්ථා ගැන සඳහන් කර ඇති අතර, ඉදිරි සහයෝගිතාව පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කර තිබේ.
මේ අවස්ථාවට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මහාචාර්ය ජෙසිකා පෑන් (Vice Provost (Graduate Education), Dean), මහාචාර්ය වොන්ග් ලිම් සූන් (Deputy Dean), සහාය මහාචාර්ය කැරොලින් ලී (Vice Dean , Outreach and Admissions), මහාචාර්ය සුරංග නානායක්කාර සහ මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් ඇමැති/ චාන්සරි ප්‍රධානි අහමඩ් රාසි, ඇමැති ප්‍රියංග නානායක්කාර මහත්ම මහත්මීහු ද එක් වූහ.
මහින්ද අලුත්ගෙදර