ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්වි-පාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරෙටහි අවධානය යොමුව තිබේ.
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී විජයන්ති එදිරිසිංහ මහත්මිය සහ එරට නියෝජ්‍ය අගමැති, ආරක්ෂක ඇමැති ෆුම්තම් වෙචයචයි මහතා අතර තායිලන්ත ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ද්වි-පාර්ශ්වික සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කරන ලද, 2023දී එවකට තායිලන්ත අගමැති ශ්‍රේතා තවිසින් සමඟ කළ සාර්ථක නිල සංචාරය මෙහිදී තායි ආරක්ෂක ඇමැතිවරයා සිහිපත් කර තිබේ. ඊට අමතරව පසුගිය අප්‍රේල් මාසයේ දී පැවති බිම්ස්ටෙක් සමුළුව අතරතුර සිදු කළ සංචාරය සම්බන්ධයෙන් ද ඒ මහතා කරුණු දක්වා ඇත.
මියන්මාරයේ මිනිස් ජාවාරම් සහ සයිබර් අපරාධ මෙහෙයුම්වලට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයන් සාර්ථකව මුදාගෙන නැවත මෙරටට ගෙන්වා ගැනීමේදී අඛණ්ඩව සහයෝගය දැක්වීම වෙනුවෙන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී විජයන්ති එදිරිසිංහ මහත්මිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජකීය තායි රජයට කෘතඥතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MOU) ඉක්මනින් අවසන් කිරීමේ වැදගත්කම තානාපතිවරිය අවධාරණය කර තිබේ.
කලාපීය සන්දර්භය තුළ තීරණාත්මක වැදගත්කමක් ඇති පුද්ගල ජාවාරම් අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව සටන් කිරීම සඳහා සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමේ ක්‍රියාවලියක ශ්‍රී ලංකා රජය නිරතව සිටින බව තානාපතිනී විජයන්ති එදිරිසිංහ මහත්මිය තායි පාර්ශ්වයට දැනුම් දී තිබේ. එළැඹෙන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත කණ්ඩායමේ ඉදිරි අධ්‍යයන චාරිකාව සඳහා තායිලන්ත ආරක්ෂක ඇමැතිවරයා සිය පූර්ණ සහයෝගය ද සහතික කර තිබේ.
අත්දැකීම් බෙදාගැනීම, ඒකාබද්ධ ධාරිතා සංවර්ධන වැඩසටහන් සහ කලාපීය හා ගෝලීය ආරක්ෂක අභියෝගවලට මුහුණදීමේදී තිරසර සහයෝගිතාව ඇතුළුව ද්වි-පාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම දෙපාර්ශ්වයම නැවත තහවුරු කර ඇත.
මහින්ද අලුත්ගෙදර