Home » මිලියන 87ක කේරළ ගංජා තොගයක් සමඟ ඩිංගි බෝට්ටුවක් පේසාලේදී නාවික හමුදා අත්අඩංගුවට

මිලියන 87ක කේරළ ගංජා තොගයක් සමඟ ඩිංගි බෝට්ටුවක් පේසාලේදී නාවික හමුදා අත්අඩංගුවට

by sachintha
May 13, 2025 1:05 am 0 comment

රුපියල් මිලියන 87කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ දෙසීය දහ අටයි ග්‍රෑම් අටසියයක් සමඟ ඩිංගි යාත්‍රාවක් මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පෙරේදා (11) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ගජබා ආයතනය මඟින් පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබේ.

එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ උර අටක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ දෙසීය දහ අටයි ග්‍රෑම් අටසියයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් ඩිංගි යාත්‍රාව සමඟ පේසාලේ වෙරළ ප්‍රදේශයේ අත්හැර දමා යන්නට ඇතැයි සැක කෙරේ. නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන අසූ හතකට අධික වෙතැයි විශ්වාස කෙරේ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT