දන්සල් 10,000කට වැඩියි / රටපුරා වෙසක් කලාප 50ක් / තොරණ රැසක් 
ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පොහෝ දිනය ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් බැතියෙන් යුතුව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ඊයේ (12) සමරනු ලැබීය. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම සිහිකරමින් මුළු රටම වෙසක් සිරියෙන් වර්ණ ගැන්වී තිබූ අතර සියලු වෙහෙර විහාරස්ථානයන්හි ආගමික වතාවත් සංවිධාන කර තිබිණි. තැන තැන ඉදි කෙරුණු තොරණ දන්සල්, භක්ති ගීත ගායනා ඇතුළු පින්කම් රැසක් පැවැත්වුණු අතර වෙසක් සිරි නැරඹීමට විශාල ජනකායක් කොළඹට පැමිණ සිටිනු දක්නට ලැබිණි. රට පුරා දන්සල් 10000කට වැඩි ප්‍රමාණයක් පැවැති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභාව කේන්ද්‍ර කර ගනිමින් පැවැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
ඊයේ (12) කොළඹ ජනාධිපති මන්දිරය කේන්ද්‍ර කරගනිමින් ගාලු මුවදොර මහ ජනකායක් රැස්ව සිටි අතර කැලණිය විහාරස්ථානය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ඇතුළු දිවයින පුරා සියලු විහාරස්ථාන මෙන්ම කොළඹ නිදහස් චතුරස්‍රය ඇතුළු වෙසක් කලාප මුල් කරගනිමින් මහා ජන ගඟක් එක්ව සිටියහ.
ජනාධිපති මන්දිරය කේන්ද්‍ර කරගනිමින් කෙටි ආහාර සහ සිසිල් පැන් දන්සලක් මෙන්ම බත් දන්සලක් ද පැවැති අතර ඩී.ආර්. විජයවර්ධන මාවත කොළඹ නිදහස් චතුරස්‍රය ඇතුළු ස්ථාන ගණනාවක අයිස්ක්‍රීම්, කඩල, පාන්, බත් ඇතුළු දන්සල් රැසක් සංවිධානය කර තිබුණි. ඊයේ විශාල ජනතාවක් එක් රොක්ව සිටියේ කොළඹ ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කර ගනිමිනි. ඒ හේතුවෙන් මාර්ග රැසක් ද අවහිරව තිබෙනු දක්නට ලැබුණි.
මේ අතර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා තොරණ මෙන්ම විශාල පහන් කූඩු ද නිර්මාණය කර තිබුණු අතර සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටළඟ, පිටකොටුව, නවලෝක, බොරැල්ල, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, පිළියන්දල, බෙල්ලන්විල, කිරිබත්ගොඩ, කොට්ටාව, මහරගම ඇතුළු ප්‍රදේශවල මෙවරද තොරණ 23ක් විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කර තිබුණි.
කොළඹ දිස්ත්‍රික්කයට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තොරණ මෙන්ම විශාල පහන් කූඩු ද නිර්මාණය කර තිබූ අතර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව ඊයේ සහ අද (13) කොළඹ කොටුව, ගාලු මුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 07 සිට රථවාහන ගමනා ගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදුකිරීමට නියමිතව තිබේ.
වෙසක් කලාප පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචිකරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළු වීමට ඉඩ ලබා දෙනු ඇත.
වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොලීසිය පැවසුවේය. මේ අතර රටපුරා වෙසක් කළාප 50කට වැඩි ප්‍රමාණයක් ද දක්නට ලැබුණි.
සුභාෂිණී සේනානායක සහ රක්ෂණ ශ්‍රියන්ත