Home » දෙමටගොඩ චමින්දගේ කෝටි 4ක කුඩු අසුවෙයි

දෙමටගොඩ චමින්දගේ කෝටි 4ක කුඩු අසුවෙයි

-සහෝදරයන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

by sachintha
May 13, 2025 1:38 am 0 comment

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

එම සැකකරුවන් සමඟ හෙරොයින් මත්කුඩු කිලෝ 2ක් හා මත්පෙති 4500ක් හා ජංගම දුරකතන හතරක් පොලිස් භාරයට ගෙන ඇත.

බස්නාහිර පළාත් සභා ඡන්දයේ දී 2011.10.08 වැනි දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වා ඇතුළු පිරිස අතර සිටි දෙමටගොඩ චමින්ද නමැත්තා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිය දී එයින් පලායාමේ සැලසුමක් අනාවරණය වීමෙන් අනතුරුව බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට යොමු කෙරිණි. දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ගබඩා කර තිබෙන ස්ථානයක් මොරගහහේන පොලිස් වසමේ ගෝනපොළ කුඹුකවත්ත ප්‍රදේශයේ නි‍ෙවසක ස්ථාපිත කර තිබෙන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට දින කිහිපයකට පෙර ලද තොරතුරකට අනුව ඊයේ (12) දහවල් එම නි‍ෙවස වැටලූ බව පොලීසිය කියයි. එම නි‍ෙවස තුළ සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත එකම පවුලේ සහෝදරයන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී නි‍ෙවසේ අල්මාරිය තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවත් ඒවා ග්‍රෑම් 100 බැගින් වෙන් වෙන් වශයෙන් අසුරා තිබූ බවත් පොලීසිය කියයි. ලැබෙන ඇමතුම් අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට මෙම මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට සැකකරුවන් තිදෙනාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙර වැරදි රැසක් තිබෙන පුද්ගලයන් බවත් ඔවුන් තිදෙනා වයස අවුරුදු 38-45 හා 46 අතර පසුවන්නන්ය.

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මත්ද්‍රව්‍ය දිසාව, අධ්‍යක්ෂ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, සහකාර අධ්‍යක්ෂ 3, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගාල්ලේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර, පොලිස් සැරයන්වරුන් වන (18261) ටිරොශන්, (66516) රංග, පොලිස් කොස්තාපල්වරුන් වන (32845) අතුල, (8075) සොයිසා, (11406) කුමාර, (94473) මදුෂාන්, (98107) මෙන්ඩිස්, (97089) ගෞතම්, (101269) රාජපක්ෂ මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT