ලෝක දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමට වරාය සහ ගුවන් සේවා සූදානම් විය යුතු යැයි ප්‍රවාහන, මහමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ඉන්දු- පාකිස්තාන උණුසුම් තත්ත්වය සමඟ කොළඹ වරාය අතිශය කාර්යබහුල වීම හොඳින් කළමනාකරණය විය යුතු යැයි ද ඒ මහතා කියා සිටියේය.
ඉන්දියාව හා පකිස්තානය අතර මේ වන විට ඇතිවී ඇති උණුසුම්කාරි තත්ත්වය සහ ඉදිරියේදී ඇති විය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව පසුගියදා ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. ඊට එක්වූ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඉන්දු – පකිස්තාන අර්බුදය නිසා වරායට අමතර නැව් පැමිණීමට ඉල්ලීම් පවතින අතර ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවී එම කටයුතු සිදු කිරීමට ඇති හැකියාව සහ යෝජනා සම්බන්ධව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
වරාය මෙන්ම ගුවන්තොටුපොළ ද ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන්ට සූදානමින් පවත්වාගත යුතු බවට අමාත්‍යවරයා අවධාරණය කළේය. ලෝක දේශපාලන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් එය අවස්ථාවක් කරගනිමින් කාර්යක්ෂමව වරාය සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු සිදුකරගත යුතු බව ද හෙතෙම පැවසීය.
වරාය අධිකාරියේ නිලධාරීන්, ගුවන්තොටුපළ නිලධාරීන්, කොළඹ හම්බන්තොට වරායන්වල පර්යන්ත භාර නිලධාරීන්, නැව් සමාගම් නියෝජිතයන් සහ රේගු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.
සුභාෂිණී සේනානායක