ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී මෙරටට ලබාදීමට එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් වැඩිදුරටත් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
වේගවත් සහ තිරසර ආර්ථික සංවර්ධනයත්, තරුණ පෙළට නව රැකියා අවස්ථා උදා කිරීමටත්, පෞද්ගලික අංශයේ සංවර්ධනය තුළින් ආර්ථික දියුණුවට මඟ පාදන්නටත්, ලෝක බැංකුවෙන් වසර තුනක් ඇතුළත එක්සත් ජනපද ඩොලර් බිලියනක මූල්‍ය පහසුකමක් ලබාදීමට සූදානම් බව ලෝක බැංකු සභාපතිවරයා කොළඹ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමෙන් පසු නිවේදනය කළේය.
ඒ අනුව මෙම ණය පහසුකම ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් කටයුතු සිදු කරන්නේ කෙසේදැයි ‘දිනමිණ‘ අප කළ විමසුමට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුවේ ඒ පිළිබඳ වැඩිදුරටත් ද්විපාර්ශ්වික සාකච්ඡා ඉතා ඉක්මනින් ආරම්භ කරන බවයි.
මෙම මූල්‍ය පහසුකම් පැකේජය භාවිතයට ගනිමින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය වැනි අංශ දියුණු කිරීමට ඉලක්ක කොට ඇති බව ද ඔහු කීය.
පෞද්ගලික අංශයේ දියුණුවට අවශ්‍ය ප්‍රාග්ධනය බාධාවකින් තොරව ලබාදීමට හැකිනම් නව වේගයකින් කර්මාන්ත සහ ව්‍යාවසායන් ආරම්භ කිරීමට හැකි බව මුදල් අමාත්‍යාංශය ලෝක බැංකුවට පෙන්වා දී ඇත.
ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීමට ලෝක බැංකුව ලබාදෙන මෙම ණය මුදල යොදා ගන්නා බව ද මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියා සඳහන් කළේය.
ජයසිරි මුණසිංහ