Home » පාතාලයට හවුල් 34ක් පුංචි ඡන්දෙට ඉදිරිපත් වෙලා

පාතාලයට හවුල් 34ක් පුංචි ඡන්දෙට ඉදිරිපත් වෙලා

- මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්

by sachintha
May 13, 2025 2:00 am 0 comment

පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදිවලට හවුල් පුද්ගලයන් 34 දෙනකු පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ,

සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් ලෙස 9 දෙනකුත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් ලෙස 08 දෙනකුත්, පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයන් ලෙස 07 දෙනකුත්, සර්වජන බලයේ අපේක්ෂකයන් ලෙස 04 දෙනකුත්, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ලෙස 03 දෙනකුත්, ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් 03 දෙනකුත් වශයෙන් පුද්ගලයන් 34 දෙනෙක් මෙසේ මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන බවයි.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.

ඒ අතරින් කිහිපදෙනෙක්ගේ තොරතුරු මම ඉදිරිපත් කරන්නම්. දෙහිවල ගල්කිස්ස නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වූ කේ. ජයසිරි නමැත්තා 2020.08.11 දින කේරළ ගංජා කිලෝ 25ක් සමඟ දෙහිවල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දෙහිවල ගල්කිස්ස නගර සභාවට ඉදිරිපත් වූ සිංහාර අමල් පුෂ්පකුමාර සිල්වා නමැත්තා 2018.10.01 දින ඔහු පදිංචි ලිපිනයේදී මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝල උණ්ඩ තුනක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ වගේම 2024.07.08 දින අතුරුගිරිය පොලිස් වසමේදී දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුට නවාතැන් දීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් 2024.09.22 දින බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් කැස්බෑව නගර සභාවට තරග වැදුණු එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් නමැත්තා 2024.01.09 දින කහතුඩුව පොලිස් වසමේ අධිවේගී මාර්ගයේ පිවිසුම අසලදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළ ප්‍රධාන සැකකරු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කටාන ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ මහේෂ් දුමින්ද සිල්වාට 2025.04.02 පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන රොෂාන් බුද්ධික පරණවිතාරණ නොහොත් ගෙම්බා නමැති පුද්ගලයෙකු

විසින් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබෙනවා. පසුව එයට පළිගැනීමක් ලෙස ඔහු සතුව තිබූ බලපත්‍ර රහිත ගිනි අවියකින් රොෂාන් බුද්ධික නොහොත් ගෙම්බා නමැත්තාට වෙඩි තබා ඝාතනය කර කටාන පොලිස් ස්ථානයට භාර වී තිබෙනවා.

සමගි ජන බලවේගයෙන් පෑලියගොඩ නගර සභාවට ඉදිරිපත් වූ දිලීප්ත ප්‍රියංග විජේසිංහ නමැත්තා 2020.08.05 දින පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මිලිමීටර් 9 ගිනි අවියක් සහ හා ජීව උණ්ඩ තුනක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොදුජන එක්සත් පෙරමුණෙන් පෑලියගොඩ නගර සභාවට ඉදිරිපත් වූ දිමුත් සස්මිණ පතිරණ පෑලියගොඩ 2024.03.09 දින හා 2025.01.04 දිනයන්හි පොලිස් ස්ථානය මඟින් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සර්වජන බලවේගයෙන් වත්තල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ නීල් ඉන්දික නමැත්තා රාගම පොලිස් වසමේ කඩවත පාරේ පිහිටි නිමේෂා නම් අවන්හල තුළදී ගිනි අවියකින් වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. සර්වජන බලවේගයෙන් තවලම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ මරගල්ල ලියනගේ නීල් චින්තක 2025.02.08 දින ඕපාත පොලිස් වසමේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව

තිබෙනවා.

මේ වාගේ දීර්ඝ ලැයිස්තුවක් අප සතුව තියෙනවා. පාතාල, මනුෂ්‍ය ඝාතන සිදුකිරීම් සම්බන්ධයෙන්, දේශපාලන සම්බන්ධතා, මත්ද්‍රව්‍ය ජාවාරම් අතර තියෙන සම්බන්ධතා මේ සියල්ල පිළිබද විමර්ශනය වෙමින් තිබෙනවා. බුද්ධි තොරතුරු අඛණ්ඩව ලැබෙමින් පවතිනවා. පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා සියලු විධාන, ක්‍රියාමාර්ග මේ වන විට අරන් තිබෙන්නේ. අපි රජයක් විදිහට මහජනයාට ලබාදුන් පොරොන්දු අනුව ක්‍රියා කරමින් සිටින්නේ. පාතාලය විනාශ කර, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රටේ දරුවන් බේරා ගැනීමේ වගකීම අප සතුව තිබෙනවා. අපි

අනිවාර්යයෙන්ම එය ඉෂ්ට කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT