කොළඹ නගර සභාව සමගි ජනබලවේගය ප්‍රමුඛ දකුණු කඳවුර නියෝජනය කරන පිරිස එකතුවී බලය ලබාගන්නා බවත් ඒ සඳහා වන සියලු සාකච්ඡා සාර්ථක වී තිබෙන බව හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින්
හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,
‘‘2025 ජනවාරි මාසයේ 21 වැනිදා විශාල ආන්දෝලනාත්මක සිදුවීමක් සිදුවුණා. ඒ සිදුවිම තමයි බහලුම් 323 ක් කිසිදු පරික්ෂාවකින් තොරව එළියට පැමිණිම. ඒ පිළිබඳව විපක්ෂය දිගින් දිගටම රටට ප්‍රකාශ කරන්න කටයුතු කළා.
ඒ වගේම ඒ සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිලධාරින්ද රටට කරුණු ඉදිරිපත් කරන්න කටයුතු කරළා. ආණ්ඩුව කිසිදු පරික්ෂාවකින් තොරව රතු නිවේදන තිබෙන බහලුම් 255 ක් රට තුළට ගෙන ඒමට කටයුතු කළා.
ඒ වගේම කිසිදු පරික්ෂාවකින් තොරව රතු නිවේදන තිබෙන බහලුම් 255 ක් රට තුළට ගෙන ඒමේදී සිදුවුණ අලාභය සහ එම සිද්ධියේ දිග පළල පිළිබඳව රටේ ජනතාවට වැටහිමක් නෑ. මේ බහුලුම් පිළිබඳව සතියකින් වාර්තාවක් ලබාදෙන බව මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා පොරොන්දු වුණා.
නමුත් ඒ පිළිබඳව කිසිදු වාර්තාවක් තවමත් ඉදිරිපත් කරලා නෑ. පාරිශුද්ධභාවය පිළිබඳ කතා කළ, විනිවිදභාවය ගැන කතා කළ , අවිචාරවත් කටයුතු සිදුවන්නේ නෑ කියපු ජාතික ජනබලවේගය හරහා දැන් අවිචාරවත් කටයුතු සිදු වෙනවා.
ඒ වගේම වර්තමාන ආණ්ඩුවට තවම නොහැකි වෙලා තිබෙනවා ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පිළිබඳව වාර්තාවක් රටට ඉදිරිපත් කරන්න. ඉන්දියාම සමග ලංකා රජය අත්සන් කළ ගිවිසුම් ගැන රටේ ජනතාවට දැන ගන්න අයිතියක් තිබෙනවා.
ඒ වගේම රටේ දිනපතා ඝාතන සිදුවෙනවා. රටේ නීතිය හා සාමය කැලෑවට ගොස් තිබෙනවා. ඒ නිසා කරුණාකරලා කිසිදු පරික්ෂාවකින් තොරව රතු නිවේදන තිබෙන බහලුම් 255 තුළ තිබුණේ මොනවාද කියලා වහාම ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි.
මේ සිදුවිම සිද්ධ වෙලා දැන් මාස 3 ක් ගතවෙලා. ඒ වගේම බහලුම් වල තිබුණ දේවල් පිළිබඳව කියන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ. ඒ නිසා ආණ්ඩුවේ නොහැකියාව දැන් හෙළි වෙමින් තිබෙනවා. ඒ නිසා ළගදීම රටේ ජනතාව කියයි අනුරටත් බෑ කියලා.
ඒ වගේම පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට ලැබුණ ප්‍රතිඵලයෙන් ආණ්ඩුව දුෂිතයි කියලා සනාථ වෙලා තිබෙනවා. ලක්ෂ 24 ක් ඡන්දය නොදුන්නේ ආණ්ඩුවේ තිබෙන නොහැකියාව සහ බොරුව රජකරවන ආණ්ඩුවක් නිසයි. පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ගෙදර යවන පණිවිඩය ජනතාව ආණ්ඩුවට ලබාදි තිබෙනවා. ආණ්ඩුවේ අගමැතිවරියත් රටේ පනත් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා. යැයි කීවේය.
රක්ෂණ ශ්‍රියන්ත