Home » රංගිරි දඹුලු රජමහා විහාරය ඉදිරිපිට විහාර මළුව හා කඩ කාමර විනාශමුඛයේ

රංගිරි දඹුලු රජමහා විහාරය ඉදිරිපිට විහාර මළුව හා කඩ කාමර විනාශමුඛයේ

by sachintha
May 13, 2025 2:05 am 0 comment

වසර 40ක් පැරණි කඩ කාමර සියය අනවසර පදිංචිකරුවන් අල්ලාගෙන

දශක හතරක කාලයක සිට සංවර්ධනයේ සේයාවක්වත් නොමැතිව දිනෙන් දින විනාශමුඛයට යන රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය ඉදිරිපිට පිහිටි විහාර මළුව සහ කඩකාමර 100 පිළිබඳව මෙවර වෙසක් පොහොය නිමිත්තෙන්වත් රජයේ සහ රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර නාහිමියන්ගේ අවධානය යොමු කරන්නැයි දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ අසාධාරණයට පත් ජනතාව ඉල්ලීමක් කරති.

රංගිරි දඹුලු රජමහා විහාරයට සමගාමීව මීට වසර හතළිහකට ඉහතදී පූජා භූමියක් බවට පත්කොට එහි පදිංචිව සිටි සියලු ජනතාව ඉවත් කොට දඹුල්ල පැරණි මිල්ලගහරුප්ප ප්‍රදේශයෙන් (වර්තමානයේ විහාර හන්දිය ප්‍රදේශයේ) දඹුල්ල ප්‍රාදේශීය සභාව එක්ව වෙළෙඳසල් 50ක් ඉදිකොට තිබිණි. ඊට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ද තවත් වෙළෙඳසල් 50ක් ඉදිකොට තැන තැන වෙළෙඳාම් කටයුතු කළ දඹුල්ලේ පූජාභූමි වෙළෙන්දන්ට ලබා දී තිබිණි. එම වෙළෙඳසල් ලබා දුන් දවසේ සිට අද දක්වාම පූජා භූමි සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම වෙළෙඳසල් සියල්ල මේ වන විට විනාශමුඛයකට පත්ව, ඒවා පූජා භූමිය තුළ අනවසර පදිංචිකරුවන් මෙන්ම විවිධ දුරාචාර සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තිප්පොළ බවට පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.

පාරම්පරික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය සමඟ බැඳී සිටි ජනතාව මේ වන විට එම වෙළෙඳසල් ද අතහැර දමා තමන්ගේ රැකියා කටයුතු පවා අතරමඟ නවතා වෙනත් රැකියාවල නිරත වන බවත්, බොහෝ දෙනකු ජීවිතයෙන් සමුගෙන ඇති බවත් ඔවුහු කියා සිටිති.

දඹුල්ල නගරයේ පැරණි නගරය පිහිටා තිබුණේ ද මිල්ලගහරුප්ප නමැති ප්‍රදේශයේය. එනම්, වර්තමානයේ විහාර හන්දිය නමින් හඳුන්වන මෙම ගරා වැටී විනාශ වී යන පුදබිම ඉදිරිපිට වීම විශේෂත්වයකි. බස් නැවතුම්පොළ, සතිපොළ සහ රාජ්‍ය ආයතන රැසක් ද මෙම ප්‍රදේශයේ පිහිටා තිබිණි. අතීතයේ ඒ සියල්ල නාගරික සංවර්ධනය බව පවසමින් පූජා භූමියෙන් ඉවත් කෙරිණි. එහෙත් වාණිජ නගරය ලෙස දඹුල්ල වෙනම නගරයක් වශයෙන් සංවර්ධනය වුවද වසර හතළිහක් තිස්සේ මහජනතාව ලොව පුරා ජනතාව වැඳුම් පිදුම් කිරීම සඳහා පැමිණෙන රංගිරි දඹුලු පූජාභූමිය ඉදිරිපිට කඩකාමර අතරමඟ නවතා දැමීම හේතුවෙන් මෙම බරපතළ ප්‍රශ්නය ඇතිවී තිබෙන බවද ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති

පූජාභූමි සංවර්ධනය අතරමඟ නැවතීම පිළිබඳව දිගින් දිගටම මහජනතාව විවිධ විරෝධතා පවත්වන්නට විය. මෙම ප්‍රදේශයේ ජීවත් වන බොහෝ දෙනකුට වැසිකිළි කැසිකිළි පහසුකම්, පානීය ජල පහසුකම් ආදී කිසිවක් නොමැති අතර, දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ඇතැම් විදී ලාම්පු දල්වා තිබෙන අයුරු ද දැක ගැනීමට හැකි විය. කෙසේ වෙතත් ගරා වැටී දවසින් දවස විනාශ වී යන වෙළෙඳසල් සියයක් වසර හතළිහක් තිස්සේ විනාශ වීම පිළිබඳව පැවැති කිසිදු රජයක අවධානයට ලක් නොවීම බරපතළ ප්‍රශ්නයක් බව ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.

සීගිරිය විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT