Tuesday, May 13, 2025
Home » මාතර බන්ධනාගාර බෝධියේ අනාරක්ෂිත අතු ආදාහනය කරයි

මාතර බන්ධනාගාර බෝධියේ අනාරක්ෂිත අතු ආදාහනය කරයි

by sachintha
May 13, 2025 1:08 am 0 comment

අනතුරුදායක අයුරින් අතුපතර විහිදී ගොස් තිබූ මාතර බන්ධනාගාරයේ පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේගේ අනාරක්ෂිතව පිහිටා තිබූ අතු ආරක්ෂිතව ඉවත් කිරීමෙන් අනතුරුව එම කොටස් ආදාහනය කිරීම කොටවිල ප්‍රදේශයේදි පසුගියදා (10) සිදු කෙරිණි.

මාතර බන්ධනාගාරය තුළ පිහිටි මෙම ඉපැරණි බෝධි වෘක්ෂයේ අත්තක් පසුගිය ජනවාරි පළමුවැනි දින රාත්‍රියේ රැඳවූවන් රඳවා සිටි වාට්ටුවක් මතට කඩාවැටීමෙන් රැඳවූවන් දෙදෙනකු මියගොස්, තවත් රැඳවූවන් 10 දෙනකුට තුවාල සිදු විය. ඉන් අනතුරුව නිසි අවසර ලබා ගැනීමෙන් පසු වතාවත් සිදු කර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම බෝ ගසේ පිහිටි අනාරක්ෂිත බෝ අතු ඉවත් කිරීම සිදු කර තිබේ.

මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපති තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමි හා මිගදාය ශ්‍රී රතනපාල මහ පිරිවෙනේ පරිවේණාධිපති දර්ශනපති, ලියන්ගහවිල ආනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබීමෙන් අනතුරුව සාම්ප්‍රදායානුකූලව ගිනි දැල්වීම සිදු කොට බෝධීන් වහන්සේගේ අතු කොටස් ආදාහනය කෙරිණි. මෙයට සමගාමීව මියගිය රැඳවූවන්ට පින් පැමිණවීම ද සිදු විය. මෙම අවස්ථාවට මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිට මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT