ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කළේය.
දින ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවූ අතර, ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම තහවුරු කර තිබේ.
එහිදී සිය වසර 14ක ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කෝලි ක්‍රීඩාවෙන් මෙන්ම තමා සමඟ පිටිය බෙදාගත් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් ටෙස්ට් පිටියට සමු දෙන බව සටහන් කර තිබේ.
මේ ආකෘතියෙන් තමා රැගෙන යන ගමන ගැන කිසිවිටෙකත් නොසිතූ බවත්, එය තමා පරීක්ෂා කළා මෙන්ම හැඩගැස්වූ බවත් ජීවිතයට පාඩම් ඉගැන්වූ බවත් සටහන් කර ඇති කෝලි මේ ආකෘතියෙන් ඉවත්ව යෑම පහසු නැති නමුත් එය නිවැරදි යැයි හැඟෙන බවත් සඳහන් කර තිබේ.
කෝලි මින් පෙර සිය අදහස ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත දැනුම්දී ඇති බවත්, කෝලි මේ සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතන නිලධාරීන් සමඟ පසුගිය මාසයකට ආසන්න කාලයක් සාකච්ඡාවල නිරතව ඇති බවත් විදෙස් මාධ්‍ය මින් පෙර වාර්තා කර තිබිණි.
ඉන්දීය නායක රෝහිත් ශර්මා මින් දින කිහිපයකට පෙර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ අතර, අනතුරුව කෝලි ද සිය විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළේය. ඉන්දීය පිල ලබන මස එංගලන්තයේදී තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක්වීමට නියමිතව තිබියදී මේ සමුගැනීම් ප්‍රකාශ විය.
2011 වසරේ කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් පිටියට පිවිසෙන කෝලි ගතවූ වසර 14 තුළදී ටෙස්ට් තරග 123කට ක්‍රීඩා කරමින් ලකුණු 9230ක් රැස් කර ඇති අතර, ඔහු එහිදී ශතක 30ක් වාර්තා කර තිබේ. ඉනිමක සාමාන්‍යය 46.85ක් ලෙස සටහන් කර ඇති කෝලි සිය ඉහළම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළේ 2009 වසරේ පූනේහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 254ක් රැස් කරමිනි. ඔහුගේ ඉනිම අතරට ද්විත්ව ශතක 7ක් ඇතුළත්ව ඇති අතර, ඉන් දෙකක් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කර තිබේ. ඉන්දියාවෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් නායකයා ලෙස හැඳින්වෙන 36 හැවිරිදි කෝලිගේ නායකත්වය යටතේ ඉන්දියාව තරග 40ක් ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 68ක් ක්‍රීඩා කරමිනි.
පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව විස්සයි20 තරග රටාවෙන් විශ්‍රාම ගත් කෝලි ඉදිරියේදී එක්දින තරග පමණක් ක්‍රීඩා කරනු ඇත.