වතිකානයේ සිය මංගල ඉරිදා දේවමෙහෙයට සහභාගි වූ අභිනව පාප්වහන්සේ ‘තවදුරටත් යුද්ධය එපා…’යැයි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
14 වැනි ලියෝ නමින් පාප්ධුරයට පත්වූ උන්වහන්සේ ලොව පුරා සිදුවන වත්මන් ගැටුම් සම්බන්ධව සිහිපත් කරමින් සාන්ත පීතර බැසිලිකාවේ සඳළුතලයේ සිට මේ ආයාචනය සිදු කළ බව වාර්තා වෙ. යුක්රේනය යුද අර්බුදයට කල් පවතින සාමයක්, ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලා සිටි පාප්වහන්සේ ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් සඳහා පසුගියදා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ සතුට පළ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ගාසා තීරයෙන් වාර්තාවන සිදුවීම් සම්බන්ධව දැඩි කනගාටුවට පත්වූ බව ප්‍රකාශ කරමින් පාප්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දු – පාකිස්තාන සටන් විරාමය කල් පවතින එකඟතාවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවය. උන් වහන්සේ යුක්රේන යුද ගැටුම් සඳහා අව්‍යාජ, සත්‍ය හා කල් පවතින සාමයක් ප්‍රාර්ථනා කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. දෙවැනි ලෝක මහා යුද්ධය වසර 80කට පෙර නිමාවට පත්වූ බවත්, වර්තමානයේදී ලොව විවිධ රටවල සිදුවන තුන්වැනි ලෝක මහා යුද්ධයක ඛේදජනක සිදුවීම්වලට ලෝක ප්‍රජාව මුහුණ දෙමින් සිටින බවත් පාප්වහන්සේ ප්‍රකාශ කර තිබේ.