Home » ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය

ශ්‍රී ලාංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය

by mahesh
May 14, 2025 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස පිළිගැනෙන සරසවිය සිනමා සම්මාන උලෙළ ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සංවිධානය වන ප්‍රමුඛතම සිනමා සම්මාන උලෙළ බව ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන ප්‍රකාශ කළාය.

ඇය මේ අදහස් පළ කළේ ඉකුත් 08වැනි දා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) විසින් පළ කරනු ලබන “සරසවිය” සිනමා පුවත්පත 36 වැනි වරටත් සංවිධාන කරන “කැලීන් – සරසවිය සිනමා සම්මාන උලෙළ 2025” පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

මේ වසරේ (2025) ජූනි මස 24 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත “නැවුම් දේශයක සිනමා අභිෂේකය – කැලීන් සරසවිය සම්මාන උලෙළ” පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ අරමුණින් සංවිධාන කළ මෙම මාධ්‍ය සාකච්ඡාව ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙවර සරසවිය සම්මාන උලෙළෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ලබන්නේ කැලීන් සබන් ආයතනයයි. ඒ වෙනුවෙන් අදාළ අනුග්‍රාහක චෙක්පත එම ආයතනයේ ජාතික අලෙවි කළමනාකරු සුදාරක චිරන්ත විසින්ද, රන් අනුග්‍රාහක දායකත්වය ලබා දෙන හොරණ වාසනා බේකර්ස් ආයතනය වෙනුවෙන් අදාළ අනුග්‍රාහක චෙක්පත එහි අධ්‍යක්ෂ නන්දන පෙරේරා, අධ්‍යක්ෂිකා බනුලි පෙරේරා සහ එහි කලා කටයුතු සම්බන්ධ උපදේශක චූලානන්ද සමරනායක විසින්ද, සත්කාරක අනුග්‍රාහක දායකත්වය ලබා දෙන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වෙනුවෙන් එම හෝටල් කළමනාකරු දුෂ්‍යන්ත තිත්තවැල්ල විසින්ද, විශේෂ අනුග්‍රාහක දායකත්වය ලබා දෙන රූපහල වෙනුවෙන් ඊට අදාළ චෙක්පත එහි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු වික්‍රමසිංහ විසින් ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන වෙත පිළිගන්වන ලදි.

මෙම මාධ්‍ය හමුවේදී ප්‍රවීණ රංගන ශිල්පිනි ශ්‍රියානි අමරසේන වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කියා සිටියාය.

“කලාව කියන්නේ සරස්වතියගේ ආශීර්වාදය ලැබෙන සුන්දර කටයුත්තක්. මීට දශක කිහිපයකට පෙර කලා ලෝකයේ තොරතුරුත් රැගෙන අප හමුවට පැමිණි සරසවියටත් ඒ ආශීර්වාදය තිබෙනවා. ඉන් පසුව සරසවි සම්මාන උලෙළ ඒ ආශිර්වාදයෙන්මයි ඒ තාක් කල් අප අතර රැඳෙන්නේ. මීමන ප්‍රේමතිලකගේ අධීක්ෂණය යටතේ විමලසිරි පෙරේරා සරසවිය කර්තෘත්වය දැරුවා. ඒ ආරම්භය හරි ප්‍රබලයි. ඒ ආරම්භයත් සමඟ සරසවියේ ජනප්‍රියත්වය වරින් වර ඉහළ ගියා. ඒ සෑම කර්තෘවරයකුගෙන්ම ලැබුණු සහයෝගයෙන් තමයි අද මෙම සම්මාන උලෙළ අප භුක්ති විඳින්නේ. රටේ තිබුණු විවිධ ගැටලු නිසා වසර දහයක පමණ කාලයක් සරසවි සම්මාන උලෙළ පැවැත්විමට නොහැකි වුණා. නමුත් ඒ කාලයේ තිරගත වුණු හොඳ චිත්‍රපට රාශියකට සහ ඒවාට සම්බන්ධ වුණු විශාල පිරිසකට සම්මාන අහිමි වුණා. ඒක කනගාටුවට කරුණක්. සරසවි සම්මාන උලෙළකින් ලැබෙන සම්මානය හරිම වටිනවා. සරසවියත් සමඟ අපේ බැඳීම හරි ප්‍රබලයි. ඒ.ඩී. රංජිත් කුමාර සරසවිය කතෘත්වය දරන කාලයේ “හොඳ කතාවක් ලියලා දෙන්න අපේ පත්තරේ පළ කරන්න” කියලා මට කිව්වා. ඉතින් එතැනදී “ඔබ පමණයි මගේ පැතුම” කියලා මම ලියපු කතාව සරසවිය පත්තරේ පළ වුණා. එහි රඟපෑවේ විජය කුමාරතුංග සමඟ සුවිනීතා වීරසිංහයි. ඒ කතාව ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. ඇත්තටම හරි සන්තෝසයි. කිසිදු වෙනසක් නැතුව හැම කෙනකුටම සරසවිය පත්තරයෙන් කලාව බෙදා දීම කලා ශිල්පීන්ට ලැබුණු ලොකු රුකුලක්. එය ආදර්ශයක් කියා මම විශ්වාස කරනවා. කලාකරුවන් ගෞරවාන්විතව මේ පත්තරයෙන් ඇගයීමට ලක් කරනවා. ඒ ගෞරවය අදටත් සරසවියේ පත්තරේට තිබෙනවා. ඒ නිසයි අප අතර බැඳීම මේ තරම ප්‍රබල වී තිබෙන්නේ.

ලේක්හවුස් හි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා ද මෙම මාධ්‍ය හමුවේදී සිය අදහස් පළ කළේය.

“ මම මුලින්ම ස්තූතිවන්ත වෙන්නේ අනුග්‍රාහකභවතුන්ටයි. ඔබ නැත්නම් ලේක්හවුස් ආයතනය ‘පත්තර මහ ගෙදර‘ ලෙස කොයිතරම් ඉතිහාසයක් තිබුණත් මේ සම්මාන උලෙළ මේ අවුරුද්දෙ කරන්න වෙන්නෙ නැහැ. මම අවුරුදු 36ක්ම සරසවිය සම්මාන උලෙළ නරඹා තිබෙනවා. 1965 දී මුල්ම සම්මාන උලෙළ මම ඉපදිලා සිටියෙ නැති නිසා බලන්න වුණේ නැහැ. නමුත් ඉන් පස්සෙ සරසවිය අපට සිහිනයක් වගෙයි. අප ඒ කාලේ මාලනී ෆොන්සේකා, ශ්‍රියාණි අමරසිංහ වගේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියන්ගේ සරසවිය පත්තරවල පළවුණු කොටස් කපා ගෙන බිත්තිවල අලවන යුගයක් තිබුණා. ඒ කාලේ එහෙම එකතු කරපු අපට අද සරසවි සම්මාන උලෙළ සංවිධානය කිරීමේදී බොහොම සමීපව එකතු වෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. ඒක තමයි කියන්නෙ “නැවුම් දේශයක සිනමා අභිෂේකය” කියලා. අද අපේ දේශයත් නැවුම්ව තිබෙන නිසා අප වගේ අයටත් පුළුවන් වුණා ඔබ සහ පරම්පරා දෙක තුනක් සමඟම එකතු වෙලා මේ සම්මාන උලෙළ රස විඳින්න. සරසවියේ නාමයෙන් තවත් කාලයක් ශ්‍රියාණි වැනි ප්‍රවීණයින් මෙතැනට එන වග අප දන්නවා.“

සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් පෙරේරා මාධ්‍ය හමුවට එක්වෙමින් පවසා සිටියේ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා එක්තරා අවස්ථාවකදී පත්තර මහ ගෙදර හැඳින්වූයේ “සිනමා පත්තර මහගෙදර” ලෙස බවය.

“තිස්හය වැනි වරට සරසවි සිනමා සම්මාන උලෙළ මෙවර සංවිධාන කරනවා. පත්තර මහගෙදරින් සරසවිය බිහි වෙනවා. 1947 වසරේදි ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටයෙන් සිනමාව ආරම්භ වෙලා ‘අශෝක මාලා‘ චිත්‍රපටයෙන් දෙවැනි පියවර තබන විට සිළුමිණ පුවත්පතේ මයුර පාද නමින් සිනමා විචාරයක් ආරම්භ කළා. එම සිනමා විචාරය ලියන්නේ මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහ සූරීනුයි. ඒ, ‘සිනමා විචාරය‘ නමින් කලාවක් දියුණු වෙලා නැති කාලෙකයි. 1953 දී ජයවිලාල් වෙලේගොඩ සූරීන් මෙරට සිනමා විචාරයට කොතරම් නම් බලපෑමක් කළාද යන වග අප දන්නවා. සමහර අධ්‍යක්ෂවරු ඒ කාලේ දිනමිණේ පළ වුණු ජයවිලාල් විලේගොඩගේ සිනමා විචාරය දැක සිනමාහල්වලට ගිහින් තිරගත වීමට නියමිත චිත්‍රපටවල දර්ශන පවා වෙනස් කරනවා.

එතරම්ම බලපෑමක් කළ සිනමා විචාරකයෝ පත්තර මහ ගෙදරින් බිහිවුණා. විජය සිරිවර්ධන, ජයන්ත පද්මනාත්, මර්වින් ද සිල්වා ඒ අතර වෙනවා. සිනමා උලෙළක ඇරඹුමේ ගෞරවය හිමි වෙන්නේ දිනමිණ පුවත්පතටයි. ඒ, 1956 මාර්තු 2 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේදී දිනමිණ රඟමඩල ත්‍යාග තරගය කියලා පළමුවෙන්ම චිත්‍රපට උලෙළක් පැවැත්වුණා. එහිදී සම්මාන වෙනුවට පිරිනැමුණේ ත්‍යාගයි. පාඨකයන්ගේ ඡන්දයෙන් පත්වන නළුවාට හෝ නිළියට එදා ත්‍යාග පිරිනැමුණා. එවැනි සුවිශේෂී සේවයක් පත්තර මහගෙදරින් සිනමාවට සිදු වුණා.

සරසවිය ඇරැඹෙන්නේ 1963 අප්‍රේල් 10 වැනිදා මෙරට 45 වැනි සිනමා පුවත්පත ලෙසයි. සිනමාව හා සම්බන්ධ පත්තර 115ක් බිහි වී වරින් වර නැවතුණා. අද තිබෙන එකම සිනමා පුවත්පත ‘සරසවිය‘ යි. අභියෝග මැද නොසැලී ඉන්ද්‍රඛීලයක් සේ තවමත් සරසවිය දිගු ගමනක් යනවා. මෙරට සෑම කලා උලෙළකදීම ගැයෙන සරස්වතී අභිනන්දන ගීතයේ හිමිකරු ද සරසවියයි. 1964 වසරේදී පළමු සරසවි සම්මාන උලෙළ සඳහා තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචනා කර පණ්ඩිත් අමරදේවයන් ඒ ගීතය ගායනා කළේ. ඩී.ආර්. විජයවර්ධනයන් පත්තර මහ ගෙදර බිහි කළේ නැතිනම් සරසවියක් පවතින්න බැහැ. සරසවිය සම්මාන උලෙළ ආරම්භ කරන්නේ රංජිත් විජයවර්ධනයන් විසිනුයි.

සරසවිය සම්මානය හදන්නේ ආචාර්ය තිස්ස රණසිංහයන් විසිනුයි. එය විශිෂ්ට නිර්මාණයක්. මෙතෙක් සිටි ලේක් හවුස් සභාපතිවරු, අධ්‍යක්ෂකවරු, සරසවිය හිටපු කර්තෘවරුන්ව මේ මොහොතේ සිහිපත් කරනවා. මීමන ප්‍රේමතිලක, විමලසිරි පෙරේරා, ධර්මදාස බොතේජු, ඒ.ඩී. රංජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ යන සියලු දෙනාටම සරසවිය පවත්වාගෙන යාමේ ගෞරවය හිමි වෙනවා. මෙවර සරසවිය සම්මාන උලෙළ සඳහා කැලීන් අත්වැල් බැඳ ගැනීම අපට විශාල සවියක්. වාසනා බේකර්ස් ආයතනය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, රූපහල ආයතනය සුවිශේෂී සහායක් ලබා දෙනවා. මෙවර සම්මාන උලෙළේ තේමාව වන්නේ “නැවුම් දේශයක සිනමා අභිෂේකය” යන්නයි.“

හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම තිර රචනය, හොඳම කැමරා අධ්‍යක්ෂණය ඇතුළු කුසලතා සම්මාන හතක් මෙවර ද පිරිනැමෙන අතර ජනප්‍රිය නළුවා සහ නිළිය පාඨකයන්ගේ කෙටි පණිවුඩ හරහා තෝරා පත්කර ගැනෙයි. ජනප්‍රිය නළුවාට සහ නිළියට වගේම වැඩිම කෙටි පණිවුඩ යොමු කරන පාඨකයාටද Cinnamon Grand හෝටලය මඟින් විශේෂ පැකේජයක් පිරිනැමීමට එම අනුග්‍රාහක භවතුන් කටයුතු කර තිබේ. මෙතෙක් කල් සලකා නොබැලුණු අංශ හතක් පිළිබඳ මෙවර සලකා බලමින් ‘ජනප්‍රියම සිනමා ගීතය‘ ඇතුළු නව සම්මාන හතක් ඇතුළත්ව තිබීම මෙවර සරසවිය සම්මාන උලෙළේ විශේෂත්වයකි. එය ලේක්හවුස් ආයතනයේ සභාපති, අධ්‍යක්ෂක මණ්ඩලය සහ සංවිධායක කමිටුව විසින් ඒකමතික එකඟතාවක ප්‍රථිඵලයකි.

කැලීන් සරසවිය සිනමා සම්මාන උලෙළේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන කැලීන් සබන් ආයතනයේ ජාතික අලෙවි කළමනාකරු සුදාරක චිරන්ත සභාව අමතමින් පවසා සිටියේ..

“කැලීන් සරසවි සම්මාන උලෙළ 2025 සඳහා ප්‍රධාන අනුග්‍ර­ාහකත්වය දක්වන්නේ කැලීන් සමාගමයි. කැලීන් කියන්නේ 2018 වර්ෂය ආරම්භ කළ සමාගමක්. හතරැස් හැඩයේ රවුම් සබන් මුලින්ම නිෂ්පාදනය කරමින් වෙළඳපොළ වෙනස් කළේ කැලින් සමාගමයි. කැන්ටාර් වාර්තාවට අනුවද මේ වන විට දේශීය සමාගමක් ලෙස අප ඉදිරියට පැමිණ තිබෙනවා. සමාගමක් වශයෙන් කැලීන් රජයේ නීතිරීතිවලට යටත්ව වැඩ කරනවා. එස්.එල්.එස්, අයි.එස්.ඕ, ජී.එම්.පී සහතික අප සමාගමට තිබෙනවා. ඉදිරියේදී පාරිභෝගිකයන් වෙනුවෙන් වෙළඳපොළ තුළ නව නිෂ්පාදන හඳුන්වා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අප කලාකරුවන් අමතක කර නැහැ. සරසවි සම්මාන උලෙළට අප සම්බන්ධ වන්නේ පළමු වරටයි. අප ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ලේක්හවුස් ආයතනය සමඟ එකතු වෙලා සරසවි සම්මාන උලෙළ පවත්වන්න. ඒ වගේම නිර්මාණශීලී හැකියාව තිබෙන කලාකරුවන් වෙනුවෙන් ඇගයීමට ලක් කරන වැඩසටහනක් තමයි මේ කරන්නේ. කැලීන් හැම දෙයක්ම කරන්නේ නිර්මාණශීලීවයි. මේ උලෙළත් ඒ වගේම නිර්මාණශීලි නැවුම් අත්දැකීම් රැසක් ගෙන දේවී. ප්‍රේක්ෂකයින් සතුටු කරන්න කලාකරුවන් ඉන්නවා වගේම කලාකරුවන් වෙනුවෙන් කැලීන් සමාගම ඉන්නවා.

රන් අනුග්‍රාහක දායකත්වය ලබා දෙන හොරණ වාසනා බේකර්ස් ආයතනයේ අධ්‍යක්ෂ නන්දන පෙරේරා ද මෙහිදී අදහස් දැක්වීය.

වාසනා බේකර්ස් සම්බන්ධයෙන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නගරය තුළ පැවැති කේක් කලාව අප ගමට ගෙන ගියා. කේක් කියන්නේ සරල කෑමක්. හැම කෙනකුටම වස විස නැති කේක් කලාවක් තමයි අප නිර්මාණය කළේ. පුංචි කාලේ ඉඳන්ම සිනමාව කියන දේ මගේ මතකයේ තිබෙන දෙයක්. රාත්‍රියට බයිසිකලයෙන් ගිහින් චිත්‍රපටයක් බලලා එන අතීතයක් අපට තිබුණා. නමුත් ඒ සිනමාව අපව අත් හැරියාද, අප සිනමාව අත්හැරියාද යන ප්‍රශ්නයක් තිබෙනවා. එදා සරසවිය පත්තරේ තුළින් අප සිනමාව ගැන කියවනවා. ඒ පත්තර පිටුව බිත්තියේ අලවගන්නවා. මේ අවස්ථාවට සම්බන්ධවීමට ලැබීම පිළිබඳ අප ආයතනය ඉතා සතුටට පත්වෙනවා. ඉදිරියට යමින් එදා තිබුණු සිනමාව ගොඩනගා ගන්න යම්කිසි විදිහකින් තිබෙනවා නම් ඒ වෙනුවෙන් අප ඕනෑම දෙයක් කරනවා. අප රටපුරා ප්‍රජා සත්කාරක වැඩසටහන් විශාල ප්‍රමාණයක් සිදුකර තිබුණත් මෙවැනි දේකට පළමුවරට තමයි අපි අත්වැල් බැඳගන්නේ. ඉදිරියටත් මෙවැනි සම්මාන උලෙළ පවත්වන්නට වාසනා බේකර්ස් ශක්තියක් වෙනවා.

සත්කාරක අනුග්‍රහය ලබාදෙන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වෙනුවෙන් එම හෝටලයේ කළමනාකරු දුෂ්‍යන්ත තිත්තවැල්ල පවසා සිටියේ සම්මාන උලෙළක් සඳහා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සම්බන්ධ වී කටයුතු කරන පළමු අවස්ථාව මෙය බවත් 36 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළට සම්බන්ධ වීමට ලැබුණු මෙම අවස්ථාව පිළිබඳ සිනමන් හොටෙල් සහ රිසෝර්ට් ජාලය සතුටු වන බවත්ය.

“සිනමාවත් සමඟ එකතු වෙලා ලංකාවට සංචාරකයින් වැඩි වැඩියෙන් ගෙන්වා ගන්න අප කැමතියි. කලාව කියන්නෙත් විශ්ව භාෂාවක්. මෙය ඇති වන්නේ මිනිසුන්ගේ තිබෙන දැනුම, භාෂාව, කැමැත්ත අනුවයි. කුමන හෝ පැත්තකින් හොඳ දේකට ලංකාවට දායකවන්න අවස්ථාව තිබෙනවා හෝටල් සමූහයක් වශයෙන් අප ඒ අවස්ථාවට දායක වෙන්න කැමතියි. මේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් සියලු දෙනාටම අපේ ගෞරවය පිරිනමනවා.“

විශේෂ අනුග්‍රාහක දායකත්වය ලබා දෙන රූපහල ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු වික්‍රමසිංහ පැවසුවේ..

“කෙටි දැනුම්දීමකින් වුවත් අප මෙවර සරසවිය සම්මාන උලෙළට සම්බන්ධ වෙන්න ලැබීම අප ලද විශාල අවස්ථාවක්. විශේෂයෙන්ම අප මාස අටක් දහයක් වැනි කාලයක් තුළ අපේ ඇප් එක හරහා ශ්‍රී ලාංකිකයන්ට මේ වේදිකාව නිර්මාණය කර තිබෙනවා. ඇප් එක ලංකාවෙ සංවර්ධනය කළත් මුල්ම කාලෙදී රටෙන් පිට අයට නරඹන්න විදිහක් තිබුණේ නැහැ. නමුත් ඒ අභියෝගය අප ජයගනිමින් global strik යන මාර්ගගත ෆ්ලැට්ෆෝම් එකක් හරහා එය ඉදිරියට ගෙන යන්න අපට හැකි වුණා. එය සංවර්ධනය කළේ සිංගප්පූරු සමාගමක් විසිනුයි. ලෝකයේ පිළිගත් ආයතන සමඟ සම්බන්ධ වෙලා තමයි දැන් අප වැඩ කරන්නේ. ඕනෑම කෙනෙකුට බයක් නැතිව මෙය ඩවුන්ලෝඩ් කරලා ලෝකයේ ඕනෑම තැනක සිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනෑම ස්මාර්ට් ටීවී එකකින් බලන්න පුළුවන්. මේක ගැන අපට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන්. මේක අප ඉදිරියට වර්ධනය කරගෙන යනවා. ක්‍රෙඩිට් කාඩ් පමණක් නොව ජංගම දුරකතනයෙන් බිල් එක ගෙවන්නත් ඉදිරියේදී හඳුන්වා දෙනවා. පත්තර බලන විදිහ දැන් වෙනස් වෙලා තිබෙනවා. අන්තර්ජාලයෙන් පත්තර බලනවා. ගොඩක් අය සමාජ මාධ්‍යයෙන් බලනවා. නමුත් හැමෝම ආසයි හෝල් එකකට ගිහින් චිත්‍රපටයක් බලන්න. සිනමාව එසේමයි. නමුත් තාක්ෂණය වෙනස් වී තිබෙනවා. සරසවිය සමඟ අප මෙවර සම්බන්ධ වුණේ සිනමාව වෙනස් වී නොමැති නිසයි. “

මෙවර සරසවිය සම්මාන උලෙළ සඳහා සලකා බලනුයේ 2024 වර්ෂයේ ජනවාරි 01 දා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙරට තිරගත වූ ශ්‍රී ලාංකේය චිත්‍රපටය. මෙවර සම්මාන උලෙළ සඳහා ශ්‍රී ලාංකික දෙමළ භාෂිත චිත්‍රපටද සලකා බැලෙනු ඇත. ඒ අනුව 2024 වර්ෂයේ සිනමාපට 38ක් මෙරට තිරගත වී ඇති අතර, ඉන් චිත්‍රපට ත්‍රිත්වයක් දෙමළ භාෂිත චිත්‍රපට වේ. මෙම චිත්‍රපට 38 අතුරෙන් චිත්‍රපට 37ක් තරඟකාරී අංශයේ සම්මාන 32ක් සඳහා තරග වදිනු ඇත.

ලාංකේය සිනමාවේ සම්භාවනීයම සිනමා උලෙළ වන සරසවිය සිනමා සම්මාන උලෙළ පසුකාලීනව ආරම්භ වූ අනෙකුත් බොහෝ සිනමා සම්මාන උත්සව සඳහා ගුරුකොට ගත් බව අවිවාදිතය. 2025 වසරේදී පවත්වනු ලබන්නේ 36 වැනි සරසවිය සම්මාන උලෙළ වන අතර, මේ වන විට සරසවිය පුවත්පත සහ සරසවිය සම්මාන උලෙළ 60 වසරක් ඉක්මවා ඇත.

මෙම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ප්‍රවීණ සිනමාවේදී චාමර ජනරාජ් පීරිස්, මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ චාමර නානායක්කාරවසම්, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චින්තක ප්‍රසන්න යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම්. දනසේන, සිළුමිණ ප්‍රධාන කර්තෘ උදේනි සමන් කුමාර, සන්ඩේ ඔබ්සර්වර් ප්‍රධාන කර්තෘ ප්‍රමෝද් ද සිල්වා, ඩේලිනිවුස් ප්‍රධාන කර්තෘ කේසර අබේවර්ධන, දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දසනායක, උපදේශක කර්තෘ (සිංහල ප්‍රකාශන) අනුර කේ. එදිරිසූරිය, තරුණි පුවත්පතේ ප්‍රධාන කර්තෘ චතුර ගීතනාත් බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ දැන්වීම් කළමනාකරු (දැන්වීම් අතිරේක) රෝයි ජයසිංහ, සන්නාම කළමනාකරු දර්ෂ චන්ද්‍රසිරි, දැන්වීම් කළමනාකරු (ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන) එරන්ද එදිරිමාන්න හා ප්‍රචාරණ කළමනාකරු ශාන්ත ජයමහ ලේක්හවුස් ආයතනය නියෝජනය කරමින් සහභාගි වී සිටියහ.

මෙම අවස්ථාවට සේමිණි ඉද්දමල්ගොඩ, ප්‍රියන්ත සිරිකුමාර, හේමාල් රණසිංහ, කළණ ගුණසේකර, සජිත ඇන්තනි, සමනලී ෆොන්සේකා, සෙනාලි ෆොන්සේකා, චුලක්ෂි රණතුංග වැනි ජනප්‍රිය, ප්‍රවීණ සිනමා රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක්ද සහභාගි වී සිටීම විශේෂත්වයක් විය. එමෙන්ම විද්‍යුත්, මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය සඳහා මෙම මාධ්‍ය හමුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් විශාල පිරිසක්ද සහභාගි වී සිටි අතර ප්‍රවීණ නිවේදක චානක ඉනෝජ් මෙහිදී මාධ්‍ය හමුව මෙහෙයවීය.

ප්‍රධාන අනුග්‍රාහකත්වය වෙනුවෙන් වූ චෙක්පත පිරිනැමුණු අවස්ථාව

ප්‍රධාන අනුග්‍රාහකත්වය වෙනුවෙන් වූ චෙක්පත පිරිනැමුණු අවස්ථාව

රන් අනුග්‍රාහකත්වය සඳහා වූ චෙක්පත පිරිනැමුණු අවස්ථාව

රන් අනුග්‍රාහකත්වය සඳහා වූ චෙක්පත පිරිනැමුණු අවස්ථාව

සත්කාරක අනුග්‍රාහකත්වය සඳහා වූ චෙක්පත පිරිනැමුණු අවස්ථාව

සත්කාරක අනුග්‍රාහකත්වය සඳහා වූ චෙක්පත පිරිනැමුණු අවස්ථාව

විශේෂ අනුග්‍රාහකත්වය වෙනුවෙන් වූ චෙක්පත පිරිනැමුණු අවස්ථාව

විශේෂ අනුග්‍රාහකත්වය වෙනුවෙන් වූ චෙක්පත පිරිනැමුණු අවස්ථාව

 

ඡායාරූප – තිලක් පෙරේරා, නිශ්ශංක විජේරත්න, චින්තක කුමාරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT