අප්‍රේල් 22 වන දින ඉන්දියාවෙන් පාලනය වන කාශ්මීරයේ පහල්ගම් සමීපයේ පුද්ගලයින් 26 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඉන්දියාව හා පකිස්ථානය අතර යුද්ධයක් හටගැනීමේ අවදානම ඉහළයෑම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් දෙරටින්ම යුද්ධයක් ඇති වීම වළක්වා ගන්නා ලෙස ඉල්ලීම් කර තිබිණි. මේවන විට ඒ සඳහා සාධනීය ප්‍රතිචාර දෙරටින්ම ලැබී තිබේ. කෙසේ වෙතත් වත්මන් තතු කලා ක්ෂේත්‍රය තුළ ප්‍රබල අර්බුදයක් ඇති කර තිබේ. ඉන්දියාවත් පකිස්ථානය ත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී ඇති බැවින්, ඉන්දීය ගීත තම ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීම, පකිස්ථාන රජය තහනම් කර තිබීම එහි එක් සංසිද්ධියකි. එමෙන්ම පකිස්ථාන රූපවාහිනී නාලිකා පවසා ඇත්තේ ඉන්දීය ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ ගීත විකාශය කිරීම නැවැත්වීමට තමන්ද තීරණය කර ඇති බවය.
පකිස්ථාන ජාතිකයෙකු වන අතීෆ් අස්ලම් බොලිවුඩ් චිත්‍රපටිවල පසුබිම් ගායනයෙහි යෙදුණු ඉතා දක්ෂ ගායකයෙකි. බොලිවුඩයෙන් අතීෆ් අස්ලම් නෙරපන්නට එකම හේතුව වූයේ ඔහු පකිස්ථාන ජාතිකයකු වීමය. එසේම බොලිවුඩ් නළුවෙකු වන ෆාවඩ් ඛාන් ද බොලිවුඩ් සිනමා නිර්මාණයන් හි සිය රංගන දක්ෂතාව විදහා දැක්වූ රංගන ශිල්පියෙකි. ඔහුගේ උපන් රට පකිස්ථානය යි. 2025 මැයි මාසයේ දී ෆාවඩ් ඛාන් ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායකවන, AbirGulaal චිත්‍රපටය තිරගත වීමට තිබු නමුත්, මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ සිනමා කර්මාන්තය විසින් එම චිත්‍රපටය තහනම් කරන ලදි. ඒ පකිස්ථානු නළු ෆාවඩ් ඛාන් එහි රංගනයෙන් දායක වන නිසාය. එමෙන්ම ඉන්දියාවේ එම තීරණයෙන් පසු පකිස්ථානය ද එම චිත්‍රපටය තහනම් කරන ලදි. එයට ප්‍රධාන හේතුව මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වෙන්නෙ ඉන්දියානු නිළියක් වන වානි කපූර් නිසාය. මේ වෙන විට ආතිෆ් අස්ලම් සහ ෆාවඩ් ඛාන්ගේ සමාජ ජාලා, ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ද ඉන්දියාව තුළ අවහිර කර තිබේ.
ඉන්දියානු සිනමාව පිළිබඳව කතා කළ විට, “ඉන්දියානු සිනමාව” යන වචනයෙන් බොහෝ දෙනකුගේ මතකයට නැඟෙන්නේ ම වෙනම සංස්කෘතික හැඩයකි. ලෝක ප්‍රසිද්ධ, බොහෝ තැන්වල දී සම්මානයට පාත්‍රවන, ආදායම් උපයන, ඉන්දීය සන්නාමයක් ගොඩනඟන චිත්‍රපටවලින් ඉන්දීය සිනමාව පොහොසත් ය.
ප්‍රාන්ත 29ට බෙදා පාලනය වන ඉන්දියාව තුළ ප්‍රධාන භාෂා 22ක් භාවිතා වේ. ප්‍රාන්ත භාෂා සමඟ ඉන්දීය සිනමාව ඒ ඒ ප්‍රාන්තයට ආවේණික වූ ලක්ෂණ සමඟ බැඳී තිබේ. කුමන භාෂාවකින් යුත් චිත්‍රපටයක් නිර්මාණය වුවත් ඉන්දීය සිනමාව තුළ දකින්නට හැකි පොදු ලක්ෂණ රැසක් හඳුනා ගන්නට හැකිය. ඒ සෑම නිර්මාණයක් ම එරට දේශපාලනය, සාහිත්‍යය, කලාව, පොදු ජන ජීවිතය, ජන කොටස් අතර සමීපතාව, ප්‍රේමය, ආදරය, සංස්කෘතීන් අතර මිශ්‍රවීම, එකිනෙකා අතර අවබෝධය ඇති කිරීම මෙන්ම රට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහාත් සුවිශේෂී දායකත්වයක් සපයන ලදි.
ඉන්දියාව සහ පකිස්ථානය 1947 දී ස්වාධීන රාජ්‍ය දෙකක් බවට බෙදී වෙන් වී යාමත් සමඟ ම ඔවුනොවුන් සතුරන් බවට පත් වුවත් මෙම රටවල් දෙක ම එකිනෙකා කෙරෙහි තවදුරටත් බැඳී පවතින බවට ඉන්දියානුවන් මෙන්ම පකිස්ථානුවන් පවා විශ්වාස කළේ, සිනමා ක්ෂේත්‍රය නිසාය. මෙම රටවල් දෙක අතරෙහි පවතින මිත්‍රත්වය වෙනුවෙන් බොහෝ ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරුන් විවිධ නිර්මාණ සිනමාවට දායාද කර තිබේ. නිදර්ශනයක් ලෙස, රෝජා, බොම්බේ, වීර්සාරා, ලගාන්, චක්දේ හා ස්වදේශ් මෙන්ම තවත් බොහෝමයක් වූ සංහිඳියාව පිළිබඳව කතා කරන බොලිවුඩ් සිනමා කෘති ඊට නිදසුන් ය.
ඉන්දියානු සිනමාව මේ වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතී. දකුණු ආසියාව පුරා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින අතර යුරෝපීය රටවල සහ අමෙරිකාව වැනි රටවලද රසිකයෝ විශාල පිරිසක් එයට ආකර්ෂණය වී සිටිති. ඉන්දියානු චිත්‍රපට විවිධ භාෂාවලට පරිවර්තනය කර ප්‍රදර්ශනය කෙරේ. කර්මාන්තයේ ආදායමෙන් 12%ක් විදේශගත ඉන්දියානුවන් විසින් දරනු ලැබේ. ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ ප්‍රධාන ව්‍යවසායකයන් වන්නේ අර්කා මීඩියා වර්ක්ස්, ආස්කාර් ෆිල්ම්ස්, ආශිර්වාද් සිනමාස්, ඒ.ජී.එස් එන්ටර්ටේන්මන්ට්, ඒ.වී.ම් ප්‍රොඩක්ෂන්ස්, ඊරොස් ඉන්ටර්නැෂනල්, ගීතා ආර්ට්ස්, හොම්බාලේ ෆිල්ම්ස්, ලයිකා ප්‍රොඩක්ෂන්ස් වැනි සමාගම් ය.
යුදමය තත්ත්වය හේතුවෙන් සිනමා ක්ෂේත්‍රෙය් ගැටලු පැනනැඟීම, සිනමා කර්මාන්තයෙන් ලැබෙන ආදායම අහිමි වීම ඉන්දියානු ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. සිනමාව යුද්ධයට කිසිදු අදාළත්වයක් නැති වුවද, යුද්ධය විසින් කලාවට මෙන්ම ලෝක සිනමාවට බලපෑමක් කළ හැකි බව මෙයින් තහවුරු කර තිබේ.
එම්. තාරික්