Home » වසර හැටක අපරාජිත ගමන

වසර හැටක අපරාජිත ගමන

by mahesh
May 14, 2025 1:00 am 0 comment

ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වීම යනු ලාංකේය වාමාංශික දේශපාලන ඉතිහාසයේ රැඩිකල් හැරවුමක් පමණක් නොව පශ්චාත් යටත් විජිත ලාංකේය දේශපාලනය තුළ ද බරපතළ සිදුවීමකි.

1930 දශකයේ ඇරඹුමෙන් පසු කීර්තිමත් ප්‍රගතිශීලී ගමනක පැමිණි සම්ප්‍රදායික වමේ ව්‍යාපාරය 60 දශකයේ මැද පමණ වනවිට තීරණාත්මක අපගමනයකට ලක් විය. 1956 ඓතිහාසික හවුල හා බල පෙරළිය විසින් සහතික කළ සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකවාදය සමඟ සම්මුතිගත වීම එම අපගමනයේ එක් ප්‍රකාශනයක් විය. 56 දී සිංහල හා දෙමළ යන භාෂාවන් දෙකම රාජ්‍ය භාෂා කළ යුතුය යන ප්‍රතිපත්තිය මත දැඩිව පිහිටා සිටි එම වමේ ව්‍යාපාරය 60 දශකය මැදදී ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව ජාතිවාදී සටන් පාඨ පෙරටු කර ගනිමින් වීදිබැසීම එහි පැහැදිලි සංකේතයක් විය. සම්ප්‍රදායික වමේ ව්‍යාපාරයේ අනෙක් අපගමනය වූයේ 1964 මැතිවරණ සභාගවාදයට එළඹීම හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ හවුල් ගත වීමයි.

ඒ අනුව දේශපාලනික වශයෙන් නව විප්ලවීය වාමාංශික ව්‍යාපාරයක් සඳහා වන ඓතිහාසික හිඩැසක් 60 දශකයේ මැද වනවිට නිර්මාණය කෙරුණු අතර රෝහණ විජේවීරගේ නායකත්වයෙන් සංවිධානය කෙරුණු නව වාමාංශික තරුණ ව්‍යාපාරයට එම හිඩැස සාර්ථකව අත්කර ගැනීමට හැකිවිය. විශේෂයෙන්ම ඒ වනවිට ලොව පුරා නව වාමාංශික උපායමාර්ගයක් ලෙස අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති ව්‍යාපාරයන්ගේ උත්සන්නියක් දක්නට ලැබුණු අතර සන්නද්ධ විප්ලවීය ක්‍රමෝපාය එම ව්‍යාපාරයන්ගේ ආශ්වාදනීය තෝරාගැනීම වී තිබිණි. කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළෙන් බිඳීගොස් විජේවීරගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වන්නේ ද ඉහත පුළුල් චිත්‍රය තුළය.

එවක ජවිපෙ නිර්මාණය වීමට සුවිශේෂී ලෙස බලපෑ ආර්ථික-දේශපාලන පොළෝ තලයක් ද විය. 1956දී පිහිට වූ රාජ්‍ය ධනවාදී සිංහල-බෞද්ධ ජාතිකවාදී බලහවුල විසින් ආන්තික කළ/බැහැර කළ මූලික සමාජ බලවේග දෙකක් 60 දශකය වනවිට ක්‍රමයෙන් රැඩිකල්කරණය වෙමින් පැවතිණි. ඉන් එක් පාර්ශ්වයක් වූයේ අධිපති වාර්ගික ජාතිකවාදී දේශපාලනයෙන් විතැන් කළ උතුරු-නැඟෙනහිර දෙමළ තරුණ පරපුරයි. අනෙක් පාර්ශ්වය වූයේ දකුණේ ග්‍රාමීය අතරමැදි සමාජ ස්ථරයයි. නාගරික කම්කරු පන්තියට වෙනස්ව මෙම සමාජ ස්ථරය මූලික වශයෙන් පදනම් වූයේ සුළු ඉඩම් මත බැඳුණු ගැමි-කෘෂිකාර්මික ආර්ථික සමාජ තලයක ය. ලංකාවේ ඌන සංවර්ධිත ආකෘතියක් තුළ ක්‍රියාත්මක වූ රාජ්‍ය සුබසාධනවාදී ධනවාදය හා එහි පාලක ශ්‍රේණිය කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයන් දීප ව්‍යාප්තව සිදු කිරීමට අපොහොසත් වීමේ ප්‍රතිවිපාකයන්ට මෙම ග්‍රාමීය අතරමැදි සමාජ ස්ථරය මුහුණ පා තිබිණි. සුළු ඉඩම් මත පදනම් වූ ගැමි-කෘෂි ආර්ථිකය නවීකාරක ප්‍රතිසංස්කරණයකට ලක් නොවීමත්,තමන්ව ඇතුළත් කරගැනීමට සමත් වන පරිදි පුළුල් වන නාගරික ශ්‍රමෝත්පාදක ආර්ථිකයක් නොවීමත් මත අතරමැදි සමාජ පන්තිමය මුහුණුවරක් ගත් දකුණේ ග්‍රාමීය තරුණ බලවේගය තුළ සමාජ අතෘප්තියක් ගොඩනැංවෙමින් පැවතිණි. ජනතා විමුක්ති පෙරමුණේ සමාජ-පංතිමය අත්තිවාරම මෙය විය.

මේ අනුව ගත්විට ජනතා විමුක්ති පෙරමුණ යනු විප්ලවීය දේශපාලනයේ මනෝමූලික හා විෂයමූලික පැතිමානයන් දෙකම ඒකීය කරගත් ඓන්ද්‍රීය ජනතා බලවේගයකි. ’71 විප්ලවය’ සිදුකිරීමේදී එහි මනෝමූලික ගුණය හා මතවාදී ආලේපනය (චේගුවේරාවාදය,’සමාජවාදය’ පිළිබද අනුරාගය වැනි) ඉස්සර වුව ජවිපෙ පදනම් වූ වෛෂයික පොළවේ යථාර්තය නිසා නැවත දේශපාලනිකව සංවිධානය වීම නොවැළැක්විය හැකි විය. 80 දශකය අග රාජ්‍යයේ යකඩ හස්තයෙන් මර්දනය කළ ද නැවත භෞතික බලවේගයක් ලෙස නැඟී සිටීමට හැකි වූයේද ජවිපෙ යනු හුදු මනෝමූලික හෝ මතවාදීමය පක්ෂයක් නොවන නිසා ය.

ලංකාවේ පසුගාමී ධනේෂ්වර පක්ෂ, සන්ධාන පරාජයට පත් කරමින් ජාතික ජන බලවේගය නම් වූ නවමු ව්‍යාපාරයට ලංකාවේ පාලන බලය ලබාගත හැකි වීමේ ප්‍රධානතම අදෘශ්‍ය සාධකය වන්නේ ද ජවිපෙ නම් වූ මෙම බිමෙහි ජනතා යාන්ත්‍රණය යි. 90 න් පසු ජවිපෙ ගමන් මග තුළ ධනේෂ්වර පක්ෂ සමඟ විවිධ සන්ධානගත වීම් හා එම ධනේෂ්වර ජාතිවාදී හා ලිබරල්වාදී උපක්‍රම සමඟ තාවකාලික අනුගත වීම් දක්නට ලැබුණද ජවිපෙ සමාජ මූලයේ පවතින ආර්ථික-දේශපාලන සාධාරණත්වයේ අරගලය අභ්‍යන්තරිකව ජීවමාන විය. එය හීලෑ කළ නොහැකි විය. ඊට හේතුවන්නේ ලාංකේය පසුගාමී ධනේෂ්වරය විසින් සම්පූර්ණ කළ නොහැකි ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කර්තව්‍යයන් රැසක් තවමත් බරපතළ ලෙස ශේෂ වී පැවතීමයි. විශේෂයෙන්ම ලාංකේය ගැමි-ගොවි සමාජයේ අසමානතාව හා දරිද්‍රතාවය වෙනස් කර දමන ප්‍රතිසංස්කරණයන් කිරීමට එම ධනේශ්වර පාලක ශ්‍රේණීන් සමත් වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් විසින් සිදු කරනු ලැබුවේ අනුග්‍රාහක-සේවාදායක ජාලයන් ස්ථාපිත කරමින් එම ග්‍රාමීය හා දිළිදු ජන සමාජයන් නව වහල් භාවයක තබා ගැනීම පමණී. මෑත වසරවල රාජපක්ෂවාදය හා පොහොට්ටු ජාලය ලෙසින් ජයකෙහෙළි නැංවූයේ එම සූක්ෂම ධනේෂ්වර පාලන උපක්‍රමයයි. එහෙත් එම නව වහල්භාවයට යටත් නොවී සිය සමාජයේ දියුණුව සාධාරණත්වයේ හා මනුෂ්‍ය ගෞරවයේ ධර්මතාවලින් දිනාගැනීමට අපේක්ෂා කරන දැනුවත් ජන මූල බලවේගය ද නොනැසී පවතී. ඊට එදත් අදත් නායකත්වය දුන් හා ලබා දෙන දේශපාලන ව්‍යාපාරය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

මෙවර ජාතික ජන බලවේගය පාලන බලය ලබා ගැනීමට හේතු වූයේ මෑත පැන නැඟි ජනතා අරගලය හා ජාජබ ව්‍යාපාරයේ පැවති හෙජමොනික ශක්‍යතාවය (සියලු කණ්ඩායම් ඒකරාශී කරගැනීමේ විවෘත බව) වුවද එම පාලන බලය පවත්වා ගැනීමේ හැකියාව හා අවශ්‍යතාවය අවධාරණය කෙරෙන න්‍යෂ්ඨිය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඊට හේතු වන්නේ එය හුදු ආණ්ඩු මාරුවකට තේරූ උපක්‍රමයකට වඩා ඓතිහාසික සමාජ-දේශපාලන බලවේගයක ඓන්ද්‍රීය අපේක්ෂාවන් ජනතා විමුක්ති පෙරමුණ නම් වූ පක්ෂය විසින් නියෝජනය කිරීමයි.

ඒ අනුව ලංකාවේ ග්‍රාමීය දිළිදු හා නාගරික අතරමැදි ජන සමාජයේ ගැඹුරු ආර්ථික-දේශපාලන පරිවර්තනයක් කිරීමේ ශක්තිය හා විභවය ඇති ව්‍යාපාරය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් ඒ අතරම නව යුගයට ගැලපෙන ආකාරයෙන් සිය බුද්ධිමය හා සංස්කෘතික සීමාකම් ජයගැනීමේ කාර්‍යය ද මේ සමඟම ජවිපෙ විසින් බරපතළ ලෙස ගත යුතු වේ. පොදු ජන සමාජය විපර්යාසයට ලක් කිරීමේදී සිය ව්‍යාපාරය ද නවීකරණය කර ගැනීමක් අවශ්‍ය වේ. ලැබූ ජයග්‍රහණයන් මැද ජවිපෙ නායකත්වය මෙම අභ්‍යන්තර අධ්‍යාපන හා සංස්කෘතික පරිවර්තනයේ ඇති වැදගත්කම ද සිහිතබා ගත යුතුවේ.

වසර හැටක් අපරාජිත වූ ජනතා විමුක්ති පෙරමුණට තවත් වසර හැටක් අපරාජිත වීමට හැක්කේ එක් අතකින් ජවිපෙ ආරම්භයේ සිට පදනම් වූ ජනතා බලවේගයේ ප්‍රතිසංස්කරණ හා විප්ලවීය අපේක්ෂා තවමත් තෘප්ත නොවී පැවතීමයි. ඉන් කියැවෙන්නේ එම පැරණි සමාජ බලවේගයේ වත්මන් පරම්පරාවන් තුළත් දේශපාලන අධිෂ්ඨානය පවත්වා ගැනීමට ජවිපෙ සමත් වී ඇති බවයි. ඊටත් වඩා එම අධිෂ්ඨානය පවත්වා ගැනීමට අවශ්‍ය වන සමාජ ප්‍රශ්නය හා එය විසඳීමට යෝජනා කෙරෙන සමානාත්මතාවයේ ධර්මය යෂ්ටියක් ලෙස තවමත් හුවමාරු වෙමින් පවතින බවයි. ඒ අරුතෙන් ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ අපරාජිත නොනිමි ගමනකි.

විදර්ශන කන්නන්ගර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT