බසය උඩ පාරෙන් යට පාරට වැටිලා
වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් මහනුවර කුළුගම්මන කුරුඳුගහමඩ ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පහළින් වූ අතුරු මාර්ගයකට පතිත වීමෙන් එහි ගමන්ගත් 29 දෙනකු තුවාල ලබා ප්රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
අනතුර පෙරේදා (12) රාත්රී 10.00ට පමණ සිදුව තිබෙන අතර, තුවාලකරුවන් අතර අවුරුදු 15ට අඩු ළමයින් 09 දෙනකු සිටින බව පොලීසිය පවසයි.
අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ 30 දෙනකු ගමන්ගෙන තිබෙන අතර, තුවාලකරුවන් 19 දෙනකු මහනුවර ජාතික රෝහලට ද 06 දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ද තිදෙනකු කටුගස්තොට රෝහලට ද එක් අයකු තිත්තපජ්ජල ග්රාමීය රෝහලට ද ඇතුළත් කර තිබේ.
අනතුර සිදු වන අවස්ථාවේ ප්රදේශයේ බත් දන්සලක් පවත්වාගෙන යමින් සිටි තරුණ පිරිසක් එම වැඩකටයුතු අතරමඟ නතර කර තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
බස් රථයේ පැමිණි පිරිස ගල්ගමුව ඇහැටුවැව ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් පෙරේදා (12) අලුයම් කාලයේ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව පිළිමතලාවට ගොස් ගඩලාදෙණිය, ලංකාතිලක හා ඇම්බැක්ක ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට ගොස් තිබේ. වෙසක් දිනය හේතුවෙන් මහනුවර නගරයේ පැවති අධික වාහන තදබදය හේතුවෙන් ප්රධාන මර්ගය මඟහැර මහනුවර – කුරුණෑගල ප්රධාන මාර්ගයට පිවිසීම සඳහා රියැදුරු යටිහගල කුළුගම්මන මාර්ගය භාවිත කර ඇත.
වංගු සහිත පටු මාර්ගයේ පැමිණෙමින් සිටියදී එක්වරම බස් රථයේ තිරිංග ක්රියාවිරහිත වූ බවත් පාලනයෙන් මිදුණු බස් රථය බෑවුමකට ඇදී ගොස් පටු මාර්ගයකට පෙරළුණු බවත් රියැදුරු පොලීසියට පවසා තිබේ. බස් රථයේ රියැදුරු ද මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින අතර, අනතුර සම්බන්ධයෙන් අලදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.