ශ්‍රී ලංකාවේ ආයෝජන සුරක්ෂිත කිරීමේදී විවිධ අකටයුතුකම්වලට ජපන් සමාගම් සම්බන්ධ කර ගැනීම සඳහා මෙරට ඇතැම් පාර්ශ්ව උත්සාහ කිරීම හේතුවෙන් ජපාන සමාගම් ගැටලු රැසකට මුහුණදුන් බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ප්‍රකාශ කරයි.
ජපාන සමාගම් තවත් පාර්ශ්වයක් සමඟ ගණුදෙනු කිරීමේදී කිසිඳු අවස්ථාවක අල්ලස් ලබාදීම, කොමිස් මුදල් ලබාදීම ආදී වංචනික කටයුතුවලට සම්බන්ධ නොවන බව පෙන්වාදෙන ඒ මහතා එවැනි කටයුතු සඳහා ජපානය ඉඩ ලබා නොදෙන බවද සඳහන් කරයි.
තානාපතිවරයා මේ බව සඳහන් කළේ Òපාත්ෆයින්ඩර් පදනමÓ පසුගියදා කොළඹදී පැවැත්වූ වට මේස සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාවේ සිදුවන දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් ජපාන රජයට දැඩි පීඩනයක් එල්ල වූ බව පෙන්වාදෙන ඒ මහතා මෙවැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට වත්මන් ශ්‍රී ලංකා රජය සුදුසු පියවර අනුගමනය කරනු ඇතැයි විශ්වාසය පළ කරන බවද ශ්‍රී ලංකාවේ ආයෝජන සුරක්ෂිත කිරීමේදී ඇතැම් ජපන් සමාගම් විවිධාකාරයේ ගැටලුවලට මුහුණදුන් බවට මීට පෙරද චෝදනා එල්ල වී තිබෙන බවද කියා සිටී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් ආරම්හ කිරීම ගැන තමන් සතුටට පත්වන බවත්, එවැනි දූෂණ විරෝධී සැලැසුම් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් යැයි තමන් විශ්වාස කරන බවත් ජපන් තානාපතිවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව බොහෝ පැතිවලින් ජපානයට ඉතා වැදගත් හවුල්කරුවකු බව පෙන්වාදී තිබෙන ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින්, ජපන් සමාගම් නව ආයෝජන කිරීමට මෙරටට පැමිණෙනු ඇතැයි සිතන බවද පැවසීය.
එසේ කිරීමට නම් ඔවුන්ට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ තිබිය යුතු බව සඳහන් කළ ඒ මහතා ජපන් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු යැයිද පෙන්වා දුන්නේය.
මේ අතර ශ්‍රී ලංකාවට ජපානයෙන් ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත අනෙක් රටවලින් මෙරටට ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත සමඟ සංසන්දනය කිරීමේදී ඉහළ මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකාව සහ ජපානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹෙන්නේ නම් ජපානයෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා පනවනු ලබන බදු අනුපාත පිළිබඳ අනිවාර්යයෙන්ම සාකච්ඡාවට බඳුන් විය යුතු බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.