“සමස්ත මානව වර්ගයාට සියයට එකසිය දහයකින් සහාය දෙන අතරම ඒ හා සමාන මට්ටමෙන් විශ්වාසය ද සුරකිමි” යි යනුවෙන් සඳහන් කළේ අභිනවයෙන් තේරී පත්වූ පාප් වහන්සේ ය.
දාහතරවැනි ලියෝ පාප් වහන්සේ ලෙස අභිෂේක ලැබූ 69 හැවිරිදි රොබට් ප්‍රෙවොස්ට් ලෝකයේ 267 වැනි පාප් වහන්සේ ලෙස ඉතිහාසයට එක්වෙයි. අභිනව පාප් ධුරයට පත්වීමෙන් අනතුරුව ශාන්ත පීතර බැසිලිකාවේ සිට ස්වකීය අනුගාමිකයන් අමතමින් උන්වහන්සේ එසේ සඳහන් කළහ.
අභිනව පාප් වහන්සේ පිළිබඳව හෝ උන්වහන්සේගේ ජීවන ගමන් මඟ පිළිබඳව යළිදු සටහනක් තැබීමට අපේක්‍ෂා නොකරන නමුත් උන්වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද අදහස්වල ඇති සමාජීය වලංගුභාවය පිළිබඳව යම් අදහසක් සමාජගත කිරීමට අපේක්‍ෂා කරමු.
කෙනකුගේ සමාජ දර්ශනය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහසක් ගොඩනඟා ගත හැක්කේ ප්‍රකාශිත සන්නිවේදනයෙන් සහ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයෙනි. අභිනව පාප් ධුරයට පත්වීමෙන් අනතුරුව උන්වහන්සේ විසින් සඳහන් කරන ලද කාරණයෙහි සංක්ෂිප්ත අර්ථය වනුයේ ස්වකීය අනුගාමික ජනතාව තමා කෙරේ තබන ලද විශ්වාසය සුරක්ෂිත කරන බවයි. එමෙන්ම ඒ සඳහා උපරිම මට්ටමෙන් වැඩ කරන බවයි. කෙනෙකුට තමා පිළිබඳව අනෙකා ඉදිරියේ දිය හැකි උපරිම වගවීමේ සහතිකය පාප් වහන්සේ විසින් ලබා දී තිබේ.
මානව වර්ගයා විසින් රට රටවල් අතර බලකාමය උදෙසා ඇති කර ගන්නා ලද යුද්ධය වහා නතර කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ. එමෙන් ම වචනවලින් ඔබ්බට ගොස් ක්‍රියාවට පැමිණෙන ලෙසත් පරිසරය සමඟ මෙන් ම පුද්ගලයන් සමඟ ද ගොඩනඟා ගන්නා අන්‍යෝන්‍ය සබඳතාව අතිශයින් වැදගත් බවත් අභිනව පාප් වහන්සේගේ ප්‍රකාශවල අන්තර්ගත විය.
පාප් වහන්සේගේ තෝරා ගැනීම සිදුවූයේ පෘථිවිය මත පැවැත්වෙන ඉතා රහසිගත ම මැතිවරණ ක්‍රමය මඟිනි. එම මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූවන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධ වුවත් එහිදී එක් එක් පාර්ශ්වයන් ලැබූ ඡන්ද ප්‍රමාණය ප්‍රකාශයට පත් නොවුණි. අවසානයේ ජයග්‍රාහකයකු පමණක් තෝරා ගැනෙන මෙම ඡන්ද ක්‍රමය අභ්‍යන්තරික ප්‍රජාතන්ත්‍රවාදය මත සියල්ලෝ ම එකඟ වූ මැතිවරණ ප්‍රතිඵලයක් බවට පත්ව තිබේ. එහි සාධනීය හෝ නිෂේධනීය බව ප්‍රශ්න කිරීම අපට අදාළ කාර්යයක් නොවුණත් සියල්ලෝ ම එහි අවසාන ප්‍රතිඵලයට එකඟ වී තිබේ.
ලොව පුරා කතෝලික ප්‍රජාවගේ නායකත්වයට පත් අභිනව පාප් වහන්සේ විසින් පෙන්වා දෙන ලද සමාජ දර්ශනයේ සියයට එකසිය දහයක වග වීම සහ ඒ හා සමාන ප්‍රමාණයෙන් විශ්වාසය සුරක්ෂිත වීම යන කාරණය සමාජ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් යැයි අපට සිතේ.
එකී ප්‍රකාශයේ ආගමික අර්ථය පසෙකලා දේශපාලනික දෘෂ්ටිකෝණයකින් විමසා බැලුවහොත් අපගේ ජන සමාජයට අත්‍යවශ්‍යව ඇත්තේ ද සියයට එකසිය දහයක උපරිම සමාජ විශ්වාසයකි. පෞද්ගලික අරමුණු පසෙකලා පොදු සමාජ අර්ථයෙන් වැඩ කිරීම පිළිබඳව වුවමනාවකි. ගෙවුණු වසර 76ක කාලසීමාව තුළ අප විසින් පීඩාවිඳින ලද්දේ පාලක පන්තිය විසින් ජනතාව අතරේ තිබූ විශ්වාසය බිඳවැටීම පිළිබඳව කාරණය නිසාවෙනි.
අභිනව පාප් වහන්සේට සුභ පතන අතරතුර උන්වහන්සේ විසින් ප්‍රචලිත කරන ලද සමාජ දර්ශනය වර්තමාන ජන සමාජයට ගළපා ගත යුතු යයි අපි විශ්වාස කරමු.
දූෂිත මජර සමාජ ක්‍රමයක් නිසා සමස්තය බින්දුවට බිඳවැටුණු සමාජ දේහයක් පවතින තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීමේදී නායකත්වයේ විශ්වාසය අතිශයින් සුවිශේෂී වේ. ජන සමාජයට මෙතෙක් කලක් නොතිබුණේ එම නායකත්වයේ විශ්වාසයයි.
එම නිසා ජනතාව ඉදිරියේ වගකීම මෙන් ම වගවීම ද නිශ්චිත ලෙස තහවුරු කරන ලද සියයට එකසිය දහයේ උපරිම සමාජ විශ්වාසයක් සහ නායකත්වයක් අපට ද අවශ්‍ය ව තිබේ. එවන් වූ සමාජ ක්‍රමයක් පිළිබඳව මූලික අඩිතාලම වැටී තිබෙන මොහොතක දී වඩාත් යහපත් සමාජ ක්‍රමයක් පිළිබඳව ඊටත් වඩා විශ්වාසදායක ලෙස ඉවසිලිවන්තව අපි බලා සිටිමු.
අභිනව පාප් වහන්සේගේ ප්‍රකාශය තුළ ගැබ්ව ඇති සමාජ දර්ශනය පිළිබඳව අපගේ කියවා ගැනීම නම් එයයි. එම නිසා ආගමික දෘෂ්ටිවාදයේ සීමාවන් තුළ හිර නොවී පොදු සමාජ අර්ථයෙන් එම ප්‍රකාශය කියවා ගන්න යයි ද අපි ජන සමාජයෙන් ඉල්ලා සිටිමු.