ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය සමරන මේ මොහොත එහි ඉතිහාසයේ අන් කවරදාටත් වඩා සුවිශේෂී වූ අවස්ථාවකි. මන්ද යත් 76 වසරක් පුරා මේ සමාජය වසා සිටි දූෂිත, ප්‍රෝඩාකාරී, මජර දේශපාලන සංස්කෘතිය වෙනුවට නිදහස්, නිවහල් සමාජයක් පිළිබඳව සිහින දකිමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සිහිනය සැබෑ කරමින් අදූෂිත දේශපාලනික සහ ආර්ථික ක්‍රමයක් මේ රට තුළ ගොඩනැඟීමේ මුල් පදනම දමා ඇති අවස්ථාවක එහි 60 වැනි සංවත්සරය පවත්වන්නට අවස්ථාව එළඹී ඇති හෙයිනි. මේ මොහොත ළඟා කර ගත්තේ සුමට සරල මාවතක් ඔස්සේ නොව, ලෙයින් සහ යකඩින් සිදු කළ රුදුරු මර්දනයන්ට මුහුණ දෙමින් සහ අනේකවිද වධ බන්ධනයන්ට මුහුණ දෙමින් මෙන්ම එකිනෙකා උරෙනුර ගැටී අභිමානවත් දේශයක් ගොඩනැඟීමේ අරමුණින් අරගල කළ තම ශ්‍රේෂ්ඨ සගයින් දසදහස් ගණනින් අහිමි කරගනිමිනි.
ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම පුද්ගල හිතුවක්කාරකමක හෝ අහම්බයක ප්‍රතිඵලයක් නොවේ. එය බිහිවූයේ නිශ්චිත සමාජ ඓතිහාසික වුවමනාවක් ඉටු කිරීමේ අරමුණෙනි. එය බිහිවන අවධිය වන විට ඒ සඳහා මඟ සකස් කළ එමෙන්ම ඒ සඳහා පදනම සකස් කළ ජාතික සහ ජාත්‍යන්තර හේතු ගණනාවක් තිබුණි.
සමාජවාදී ආරම්භය
ලංකාවේ වාමාංශික දේශපාලනය ආරම්භ වන්නේ 1935දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමත් සමඟය. මෙහි නායකයෝ එවකට ලංකාවේ නැඟීගෙන ආ මධ්‍යම පාන්තික තරුණයින් වූහ. ප්‍රභූ පන්තියේ දරුවන් කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් වැනි විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙද්දී මොවුන්ට ඇතුළත් වීමට සිදු වූයේ දෙවන පන්තියේ විශ්වවිද්‍යාල ආයතනවලටය. එසේම මෙකල බටහිර රටවල කළු ජාතිකයින් කෙරෙහි පැවති විරෝධය හමුවේ මෙම තරුණයන් හට මුහුණ පෑමට සිදු වූයේ අඩු සැලකිලිවලටය. කෙසේ වුවද මඳ අස්වැසිල්ලක් වූයේ එම රටවල කොමියුනිස්ට් පක්ෂවල සාමාජිකයන් ඔවුන් හට උපකාර කිරීමට ඉදිරිපත් වීමය. ඒ අනුව ඔවුන් නිරායාසයෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ ඇසුරට වැටුණු අතර, මාක්ස්වාදයට නැඹුරු මානසිකත්වයක් ඔවුන් තුළ ඇතිවිය. නමුත් ඔවුන් ඇසුරට පත්වූ කොමියුනිස්ට් පක්ෂ මේ වන විට මෙන්ෂෙවික්කරණයට ලක්වූ කොමියුනිස්ට් පක්ෂ බවට පත්වී තිබුණි. රුසියානු විප්ලව ඉතිහාසය තුළ එක් අවස්ථාවක පක්ෂය තුළ බෝල්ෂෙවික් සහ මෙන්ෂෙවික් යන බෙදීම ඇතිවිය. මෙහි වචනාර්ථය බහුතරය සහ සුළුතරය ලෙස හැඳින්වුවත් මෙය ඇත්තටම සංවිධාන ශෛලීන් දෙකකි. බෝල්ෂෙවික් යන්නෙන් අදහස් වන්නේ, සමාජ පරිවර්තනයකට නායකත්වය දිය හැකි, ඒ සඳහා පන්ති බලවේග සංවිධානය කර ගත හැකි හා ඒවා මෙහෙයවිය හැකි, අයෝමය විනයක් සහිත මධ්‍යගත සංවිධානයක් යන්නය. සමාජ විප්ලවයක් සඳහා සරල පක්ෂයක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ අයෝමය විනයක් සහිත ශක්තිමත් පක්ෂයකි. නමුත් මෙන්ෂෙවික් යන්න තුළ විනයානුකූල ශක්තිමත් සංවිධානයක් වෙනුවට සරල ලිහිල් සංවිධානයක් අදහස් වෙයි. මෙය එකල ලියොන් ට්‍රොට්ස්කි දැරූ මතයයි. ලෙනින්ගෙන් පසුව සෝවියට් දේශයේ නායකත්වයට පත් ස්ටාලින්, කෘෂෙව් වැන්නවුන් නිසා බෝල්ෂෙවික් ලක්ෂණ ගිලිහී ගොස් රුසියානු කොමියුනිස්ට් පක්ෂය නිලධාරීවාදී පිරිහීමකට ලක් විය.
පැරණි වමේ පාවාදීම
මෙකී වමේ ව්‍යාපාරය එහි තිබූ ලිහිල් ස්වරූපය නිසාම 1960 ගණන් වන විට විවිධ ගුරු කුලයන්ට බෙදී පක්ෂ ගණනාවක් බවට පත්වූ අතර, සෑම අවස්ථාවකදීම කම්කරු පන්තිය භේදභින්න කිරීමත් සටන් පාවාදීමත් සිදු කරන ලදි. මෙහි ප්‍රබලම අවස්ථාව වූයේ, 1964දී කම්කරු පන්තියේ ඉල්ලීම් 21 පාවාදීමයි. ඊට පෙර පැවති මැයි දිනයේදී ‘සමසමාජ පක්ෂයේ සිමෙන්ති ද කොමියුනිස්ට් පක්ෂයේ වැලිද මහජන එක්සත් පෙරමුණේ කළු ගල්ද ගෙන කොන්ක්‍රීට් එකක් දැමූ බවත් එය කිසිවෙකුට බිඳ දැමිය නොහැකි බවත්’ කියමින් කෑ මොර ගෑ මෙම නායකයෝ ඇමැතිකම් දෙකකුත් භාග දෙකකට ඉල්ලීම් 21 සමඟ මුළු කම්කරු පන්තියම පාවාදෙමින් 1964 වන විට අර්බුදයකට පත්ව සිටි ශ්‍රීලනිප ආණ්ඩුවට මුක්කු ගැසූහ. මෙම මහා පාවාදීමත් සමඟ නව වමක් පිළිබඳව සිතීමට දොරටු විවර කරන ලදි.
එසේම ජාත්‍යන්තර තලයේද මේ වන විට වෙනස්කම් සිදු වන්නට විය. මෙතෙක් ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රබල මිතුරන් ලෙස සිටි චීනය සහ සෝවියට් දේශය 1963දී ඇතිවූ මතගැටුමක් නිසා සතුරන් බවට පත් විය. ඒ අනුව යමින් ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද චීන සහ රුසියන් පිල ලෙස බෙදුණි. මේ කාලයේ ඉගෙනුම සඳහා සෝවියට් දේශයට ගොස් සිටි රෝහණ විජේවීර සහෝදරයා මෙම චීන රුසියන් මතභේදයේදී චීනය වඩා නිවැරදි තැනක සිටින බව පවසන ලද අතර, ඒ වෙනුවෙන් අදහස් මතවාද පළ කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස විජේවීර සහෝදරයාට තවදුරටත් සෝවියට් දේශයේ ඉගෙනීම තහනම් විය.
1965 මැයි 14 ඓතිහාසික වශයෙන් සුවිශේෂී දිනයක් බවට පත්වන්නේ නව සංවිධානයක් පිළිබඳව උනන්දුවක් දැක්වූ කිහිපදෙනෙක් එක්ව පළමු වරට ඒ පිළිබඳව සාකච්ඡා කළ දිනය එය වන බැවිනි. අක්මීමන පිහිටි කරුණාරත්නගේ (ඉන්කම් ටැක්ස් කරු) නිවසේදී රෝහණ විජේවීර ඇතුළුව විජේසේන විතාරණ නොහොත් සනත්, එච්. මිල්ටන්, විල්සන් දැදිගම, ඩබ්.ටී. කරුණාරත්න, දෙල්ගොඩ රාජා සහ සිරිපාල අබේගුණවර්ධන යන තරුණයෝ මෙම සාකච්ඡාවට එක්වූහ. මෙහිදී ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව පුළුල් විග්‍රහයක් විජේවීර සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද අතර, නිවැරදි විප්ලවකාරී සංවිධානයක අවශ්‍යතාව අවධාරණය කෙරිණි. ඒ අනුව ජනතාවට දේශපාලනික අවබෝධය ලබා දීමටත් ඔවුන් සංවිධානයක් ලෙස ගොනු කිරීමටත් රැස්වූ සියලු දෙනාම එකඟත්වය පළ කරන ලදි. මින් ඉදිරියට එළඹි කාලපරිච්ඡේදය ඉමහත් දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දුන් අවධියක් විය. විජේවීර සහෝදරයාම පසුකාලයේදී පැවසූ පරිදි තමා විදේශ අධ්‍යාපනයට යොමුවීම නිසාම තමාට මෙරට විශ්වවිද්‍යාල මිතුරන් නොවීය. දන්නා හඳුනන කිහිපදෙනෙකු සමඟින් මෙම කාර්යයට අතගැසූ නිසා එය වඩාත් දුෂ්කර විය. මේ වන විට කම්කරු පන්තිය අපේක්ෂා භංගත්වයට පත්ව නිද්‍රාශීලි තත්ත්වයක සිටි බැවින් ඔවුන් තුළ අලුතෙන් විශ්වාසය ඇතිකිරීම අතිශයින් දුෂ්කර වූ නමුත් ග්‍රාමීය ගොවි ජනතාව අතර වැඩ කිරීම තරමක් පහසු විය. එනිසාම කිරින්ද, තිස්සමහාරාමය වැනි තැන්වල ගොවිපළවල් පවත්වා ගනිමින් ගැමි තරුණයන් දේශපාලනයට ආකර්ෂණය කරගැනීමට පියවර ගන්නා ලදි. වරෙක කුසගින්න මකා ගැනීම සඳහා කුකුළු කෑම දිය කර බොමින් ද මුදල් එකතු කිරීම සඳහා තිස්සමහාරාම බස් නැවතුම්පොළේ මුට්ට කරගසමින් ද ගත කළ එම කාලපරිච්ඡේදය විජේවීර සහෝදරයා හට අතිශයින් දුෂ්කර කාලයක් විය. නමුත් අනාගත සමාජ මෙහෙවරක් වෙනුවෙන් වූ අධිෂ්ඨාන ශක්තිය නිසා මේ සියල්ල නොවැදගත් බවට පත්කරන ලදි.
1967දී සිදු කළ කැලැත්තාවේ සාකච්ඡාව අතිශයින් වැදගත් සාකච්ඡාවක් වූයේ, පක්ෂයට සම්බන්ධ වන අය හට දේශපාලන අවබෝධය ලබා දීම සඳහා සුදුසු සාකච්ඡා කිහිපයක් සූදානම් කිරීම නිසාවෙනි. මුලින් සාකච්ඡා ලෙස සකස්වූ මේවා පසුකාලයේදී සුප්‍රසිද්ධ පන්ති පහ බවට පත්විය. ධනේශ්වර ක්රමයේ අර්බුදය, නිදහස නව යටත්විජිත උපක්රමයකි, ඉන්දියානු ව්‍යාප්තවාදය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරය, ලාංකීය විප්ලවය ගතයුතු මඟ වශයෙන් මාතෘකා පහක් ඔස්සේ මෙම පන්ති පවත්වන ලදි. මේ අනුව එකතු වන සාමාජිකයින් සංවිධානාත්මකව ගොනු කිරීම සඳහා ග්‍රාමීය කමිටු, ප්‍රාදේශීය කමිටු සහ දිස්ත්‍රික් කමිටු ලෙස සංවිධාන ජාලයක් ගොඩනඟන ලදි. මේ අතරතුර සංවිධානය තුළ මතුවූ නිර්මාක්ස්වාදී සහ කට්ටිවාදී ප්රවණතාවන්ට එරෙහිවත් නිරන්තර අරගලයක් කිරීමටද සිදුවිය. 1967/68 වකවානුව විජේවීර සහෝදරයා විශ්වවිද්‍යාල තුළට නව මතවාදය ව්‍යාප්ත කෙරුණු අවධියයි. පන්ති සාකච්ඡා බාහෝ විට විජේවීර සහෝදරයා විසින්ම කරන්නට යෙදුණු අතර, වේගයෙන් ශිෂ්‍යයින් මේවටා එකතු වන්නට විය. විජේවීර සහෝදරයා සමඟ සමකාලීනව ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කල්‍යාණන්ද තිරාණගම, සුමිත් දෙවිනුවර, ගාමිණී යාපා වැන්නවුන්ද මෙකල විශ්වවිද්‍යාල තුළ විප්ලවීය දේශන සිදු කළත් ඒවා සිසුන්ට ආකර්ෂණීය වූයේ නැත. එනිසාම වැඩිකල් නොගොස් ඔවුන්ගේ එම ව්‍යායාමය අතහැර දමන්නට ඔවුන්ට සිදු විය. එහෙත් 1969 මැද පැවති මඩම්පැල්ල සාකච්ඡාව, 69 අග පැවති ඌරුබොක්ක සාකච්ඡාව 1970 මුල පැවති දෙවිනුවර සහ කඹුරුපිටිය සාකච්ඡාව ආදියේදී ක්‍රියාකාරීන් රැස්වී අවශ්‍ය දේශපාලන තීන්දු තීරණ ගන්නා ලදි. එසේම මේ අතරම කම්කරු පන්තිය තුළද ක්‍රමානුකූලව වැඩ කිරීම ආරම්භ කොට තිබුණි. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබිම් ගණනාවක් තුළ විජේවීර සහෝදරයා විසින් පන්ති පවත්වා තිබුනි. 1970 මහමැතිවරණය පවත්වන අවස්ථාව වන විට එම මැතිවරණයේදී සමගි පෙරමුණට සහයෝගය දීම සඳහා පත්‍රිකාවක් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාව පැන නැඟි අතර, 1970 මුල දෙවිනුවර සාකච්ඡාවේදී සංවිධානය ‘ජනතා විමුකි පෙරමුණ’ ලෙස නම් කිරීමට තීරණය කරන ලදි.
හයිඩ් පිටියේ රැලිය
මේ කාලය වන විට ජවිපෙ වෙත රාජ්‍ය මර්දනය වේගවත් වූ අතර, සාමාජිකයින් කිහිප දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගන්නා ලදි. ඉන් නොනැවතුණු පොලීසිය 1970 මැයි 12 වන දින විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගන්නා ලදි. 1970 මැයි 27 දින පාර්ලිමේන්තු මැතිවරණය පැවති අතර, ඉන් තුනෙන් දෙකක බලයක් සහිතව සමගි පෙරමුණ ජයග්‍රහණය කරන ලදි. සමගි පෙරමුණ ලද ජයග්‍රහණයත් සමඟ විජේවීර සහෝදරයා නිදහස් කරාවි යයි අපේක්ෂා කළ නමුත් එය එසේ නොවූ නිසා ඒ සඳහා බල කෙරෙන පෝස්ටර් රටපුරා ඇලවීමට කටයුතු කරන ලදි. එක් රැයකින් සිදු වූ මෙම පෝස්ටර් ඇලවීම ප්‍රථම වරට ජවිපෙ නම භාවිත කරමින් සිදු කළ බැවින් එය සුවිශේෂී විය. 1970 ජූලි 09 වැනි දින විජේවීර සහෝදරයා නිදහස් කරන ලදි. මින් අනතුරුව ජවිපෙ සිය ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කළ අතර, පළමු දේශනය 1970 ජූලි 14වන දින විද්‍යොදය විශ්වවිද්‍යාලයේදී පවත්වන්නට යෙදුණි. මෙය සී.අයි.ඒ කාරයෝ ලෙස නම් කළ අතර, එය කලින් සඳහන් කළ අවලාදයට පිළිතුරක් විය. එතැන් සිට ප්රචාරක රැස්වීම් පැවැත්වීම ආරම්භ කළ අතර එහි පළමුවැන්න 1970 අගෝස්තු 10 වෙනි දින කොළඹ හයිඩ් පිටියේදී පවත්වන ලදි. මෙම රැලියට පෙරදින සමගි පෙරමුණු ආණ්ඩුව ප්‍රකාශයට පත්කළේ මෙය ප්රතිගාමී ව්‍යාපාරයක් බැවින් එය මර්දනය කිරීමට ජනතාවගේ සහය අවශ්‍ය බවයි. නමුත් රැලියට පැමිණි විශාල ජන සංඛ්‍යාව තම අත බැඳි ඔරලෝසුව, කර පැලඳි මාලය සහ මුදල් පරිත්‍යාග කරමින් විජේවීර සහෝදරයාට සහය පළ කරන ලදි. මෙය දුටු ආණ්ඩුව කලබල වූවාට සැකයක් නැත. එය එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ආතර් රාජ්කුමාර් රත්නවේල් විසින් රැලියට දින දෙකකට පසු නිකුත් කළ නිවේදනයෙන් පෙනී යයි. රටේ හිස ඔසවමින් එන චේගුවේරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එකේ හතුරා බවත් එය හඹාගොස් මුලිනුපුටා දැමිය යුතු බවත් ඉන් කියවිණි. නමුත් සිලෝන් ඩේලි නිව්ස් පුවත්පත ජූලි 10 වෙනි දින වාර්තා කර තිබුනේ කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳව සාක්ෂි නොමැති බවයි. කෙසේ වුවද අංක එකේ හතුරා වූයේ කෙසේද යන්න පැහැදිලි නොකළ ආණ්ඩුව ජවිපෙ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමත් වදහිංසා පැමුණුවීමත් නිරන්තරයෙන් සිදු කරන ලද අතර මෙම ක්‍රියාමාර්ග උත්සන්න වෙද්දී එම තත්ත්වය නිරායාසයෙන්ම 71 අරගලයට මඟ පාදන ලදි. 1971 අප්‍රේල් 5 වන දින අරගලය ක්‍රියාත්මක වන්නේ ඒ අයුරිනි.
අභූත චෝදනා
අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ මහ රැජිනට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ යුද වැදීම යන චෝදනා යටතේ විජේවීර සහෝදරයා ඇතුළු 41දෙනෙකුට එරෙහිව නඩු පවරන ලදි. එහිදී ඔහු කොමිසම හමුවේ කියා සිටියේ, පාලකයින් පීඩිතයින් හට මර්දනය එල්ල කරන්නේ නම්, තම ආත්මාරක්ෂාව සඳහා සටන් වැදීමට ඔවුන්ට අයිතියක් ඇති බවයි. කෙසේ වුවද අවසානයේදී විජේවීර සහෝදරයා හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට කොමිසම කටයුතු කළ අතර, එය වරදක් ලෙස දකිමින් පසුව එය 20 අවුරුදු සිරදඬුවමක් බවට පත්කරන ලදි.
1977 ජූලි මාසයේදී පවත්වන ලද මහ මැතිවරණය මඟින් ලාංකේය දේශපාලනයේ බරපතළ වෙනස්කම් ඇතිකරන ලදි. මහමැතිවරණයෙන් බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අහෝසි කිරීම නිසා විජේවීර සහෝදරයා ඇතුළු බොහෝ දෙනෙක් හිරෙන් නිදහස් වී එළියට පැමිණියහ. මේ වන විට හිරගෙවල සිටියදීම පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට සහ වැරදි අඩුපාඩුකම් ඉවත් කර පක්ෂය නිවැරදි මඟට ගැනීමට පියවර ගෙන තිබුණි. එබැවින් එතෙක් පක්ෂය අතනොහැර සිටි සියලු දෙනා සම්බන්ධ කරගනිමින් පක්ෂය නැවත ගොඩනැඟීමේ කටයුත්ත ආරම්භ කරන ලදි. ඊට සරිලන ආකාරයට පන්ති පහද වෙනස් කරන ලදි. මෙයින් ප්රශ්නසහගතව තිබූ ඉන්දියානු ව්‍යාප්තවාදය පන්තිය ඉවත් කළ අතර, බෝල්ෂෙවික් පන්නයේ පක්ෂයක් ගොඩනැඟීමේ මූලධර්ම පිළිබඳව සාකච්ඡා ඊට ඇතුළත් කරන ලදි. ක්‍රමයෙන් පක්ෂය වෘත්තීය සමිති ක්ෂේත්රයේද සංවිධාන කටයුතු ආරම්භ කරන ලද අතර, 1980 ජූලි වැඩවර්ජනයේදී කම්කරු පන්තියට නිසි නායකත්වය දීමට ඉදිරිපත් වූ නමුත් අනෙකුත් වෘත්තීය සමිති නායකයින්ගේ වැරදි මඟපෙන්වීම නිසා එය අසාර්ථකත්වයට පත්විය.
ජවිපෙ තහනම සහ එජාපයේ මර්දනය
තහනමත් සමඟ ඊට ගැළපෙන ආකාරයට පන්තිය සංවිධානය කිරීමේ බරපතළ වගකීම ජවිපෙ විසින් භාර ගන්නා ලදි. ඒ අතරම තහනම ඉවත් කර ගැනීම සඳහා ගත හැකි සෑම ප්රජාතන්ත්රවාදී පියවරක්ම ගන්නා ලදි. නමුත් මේ කිසිවකට ඇහුම්කම් නුදුන් ජේ.ආර්. ආණ්ඩුව විසින් ජවිපෙ සාමාජිකයින් අත්අඩංගුවට ගෙන පහර දී මරා දැමුණු අවස්ථා විටින් විට වාර්තා වන්නට විය. 1987 ජූලි 29 වෙනි දින ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනුයේ රටේ මෙවැනි වාතාවරණයක් තිබූ තත්ත්වයක් තුළය. මේ සඳහා රට තුළ දැඩි විරෝධයක් මතුවූ අතර, ඒ මඟින් මෙම හොර ගිවිසුමට එරෙහිව දැවැන්ත ජනමතයක් නිර්මාණය කරන ලදි. 1988 වන විට මෙම විරෝධය ධනපති ක්‍රමයට, අධිරාජ්‍යවාදයට, ඉන්දියානු ව්‍යාප්තවාදයට සහ බෙදුම්වාදයට එරෙහි සටනක් බවට පත්ව තිබූ අතර, ජනතා විමුක්ති පෙරමුණ විසින් එයට නායකත්වය සපයන ලදි. 1988 සැප්තැම්බර්වලදී ජාතිය ගලවා ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදි. ඒ අනුව 1988 ඔක්තෝබර් 18 වන දින සංවිධාන 8ක් මඟින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද කරන ලදි. 1988 දෙසැම්බර් ජනාධිපතිවරණය මෙන්ම අනතුරුව පැවති මහමැතිවරණයද තවදුරටත් වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණට සිදු වූයේ තම පක්ෂ තහනම ඒ වන විටත් ඉවත් නොවී තිබීම හේතුවෙනි. 1989 මහ මැතිවරණයෙන් පසු කාලපරිච්ඡේදය අතිශයින්ම භීෂණ කාලපරිච්ඡේදයක් විය. ප්‍රේමදාස ආණ්ඩුව මෙම කාලපරිච්ඡේදය තුළ කොළ කොටි, ප්‍රා වැනි විවිධ ඝාතක කල්ලි යොදා ගනිමින් ජවිපෙ සාමාජිකයින් ඝාතනය කිරීම වේගවත් කළ අතර, ඒ තුළම සාමාන්‍ය වැසියන්ද ඝාතනය කරන ලදි. 1989 නොවැම්බර් 12 වෙනිදා විජේවීර සහෝදරයා ඇතුළු නායකයින් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගනු ලැබූ අතර, විජේවීර සහෝදරයා නොවැම්බර් 13 වෙනි දින වෙඩි තබා ඝාතනය කරන ලදි.
එම අවස්ථාව වන විට එය කඩිනමින් කළ හැකි දෙයක් නොවීය. එහෙත් ඉන් වසර කිහිපයකට පසුව ඒ සියල්ල වෙනස් කරමින් පක්ෂය නැවතත් ඉදිරියට ගමන් කරන්න විය. මෙහි තේරුම නම් මුල සිටම පක්ෂය තුළ ගොඩනඟා තිබූ එම අයෝමය විනය සහ සංවිධාන ශක්තිය මොන ක්‍රමයකින් හෝ බිඳදැමීමට සතුරාට නොහැකි විය යන්නයි. පක්ෂයේ ඊළඟ පරපුර විසින් පක්ෂය ඉතා ප්‍රවේසමෙන් සහ සංවිධානාත්මකව ප්රජාතන්ත්රවාදී මාවත ඔස්සේ ඉදිරියට ගෙන ආ බව ලද ජයග්‍රහණවලින් මනාව ඔප්පු කරයි. ක්‍රමානුකූලව මැතිවරණවලින් ජය ලබමින් මහජනතාවගේ විශ්වාසය පක්ෂය දෙසට දිනා ගනිමින් පැමිණි ගමන 2024 සැප්තැම්බර් මාසයේ ලද ජයග්‍රහණය සමඟින් තීව්ර වී ඇත. මෙය සැබවින්ම සැප්තැම්බර් විප්ලවය ලෙස හැඳින්වීමේ වරදක් නැත. මෙතෙක් මේ සමාජය වසා සිටි දූෂිත, මජර දේශපාලනය වෙනුවට පීඩිත ජනයාට වගකියන ඒ වෙනුවෙන් වගවෙන ජනාධිපති සහෝදරයකු නිර්මාණය කර ගැනීමට ජනතාවට හැකිවීම සැබවින්ම විප්ලවයකි. ඉනුත් නොනැවතී හයෙන් පහකටත් වැඩි බලයක් සහිත මන්ත්‍රී සහෝදරයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීමත් එමෙන්ම පළාත් පාලන ආයතනවලින් සාතිශය බහුතර බලයක් ලබා ගැනීමත් සැබවින්ම විප්ලවයකි. එදා විවිධ වකවානු තුළදී ජීවිත පරිත්‍යාග කළ විජේවීර සහෝදරයා ඇතුළු සියලුම සහෝදරයින්ගේ උතුම් අපේක්ෂා සඳහා නිසි ගෞරවය පුද කළ හැක්කේ ඔවුන් පැතූ එම ලෝකය මේ මිහිපිට ගොඩනැඟීමෙනි. ඒ අනුව පක්ෂයේ 60 වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සැමරීමට හැකිවී ඇත්තේ මේ ලක් පොළව තුළ දැන් වැටී ඇති නව අරුණාලෝකය නිසා බව අමුතුවෙන් කිව යුතු නොව්.
1971 අරගලයේ ක්‍රියාකාරී,
හිටපු ගණකාධිකාරී,
බී.එම්.එස්. බාලසූරිය