Home » ආධ්‍යාත්මික ශික්ෂණයට හේතු වන ක්‍රියාකාරකම්වල යෙදීම ඥානාන්විතයි

ආධ්‍යාත්මික ශික්ෂණයට හේතු වන ක්‍රියාකාරකම්වල යෙදීම ඥානාන්විතයි

ශාස්ත්‍රපති ඌරුගමුවේ අස්සජි හිමි

by mahesh
May 14, 2025 1:00 am 0 comment

වෙසක් මංගල්‍යය සහ වර්තමානයේ ඒ වෙනුවෙන් සිදු කෙරෙන සැමරුම්වල ඇති සැබෑ ස්වභාවය පිළිබඳව පිළියන්දල මඩපාත සිළුමිණි මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති, ශාස්ත්‍රපති ඌරුගමුවේ අස්සජි හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

වෙසක් මංගල්‍යය අද සැණකෙළියක් බවට පත්වෙලා. ස්වාමීන් වහන්ස, ඒ ගැන මුලින්ම විග්‍රහයක යෙදෙමු.

ශ්‍රී ලංකා ජන සමාජය තුළ සෑම වසරකම සිරිත් පරිදි සිදු කරන උත්සව, පින්කම් සහ සැණකෙළි රැසක් පවතිනවා. පසළොස්වක පොහෝ දින පින්කම්, කඨින පින්කම්, ජාතික නිදහස් දින උත්සවය, බක්මහ සැණකෙළිය මේ අතර කිහිපයක්. මෙයින් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අන් සෑම දිනකටම වඩා වටිනාකමක් තිබෙනවා. සැබැවින්ම, සිංහල බෞද්ධයාගේ ප්‍රධානතම වන්දනීය සහ පූජනීය දිනය වෙසක් පොහොයයි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම සහ පිරිනිවීම යන උතුම් අවස්ථා තුන සිහිපත් කරමිනුයි වෙසක් පොහොය සමරන්නෙ.

අද වන විට අසිරිමත් වෙසක් මහා මංගල්‍යය එක්තරා පිරිසක් අතර යම් සැණකෙළියක්වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ධාර්මික විනෝදය බුදු දහම අනුමත කර ඇති දෙයක් වුවත් එයින් ඔබ්බට ගොස් සීමාව ඉක්මවා විනෝදය සොයා යෑමට පෙලඹීම නිසයි, වෙසක් මහා මංගල්‍යය සැණකෙළියක් බවට පත්වී තිබෙන්නෙ. වෙසක් තොරණ, පහන් කූඩු ආදිය වටිනා කලා නිර්මාණ වුවත් ඒවා නරඹමින්ම පමණක් වෙසක් සැමරීම කිසිසේත්ම බුද්ධි ගෝචර වන්නේ නෑ. ඔළුබක්කන් නැටවීම වැනි දේවල් පවා පෙනෙන්නට තිබුණත් ඒවා තුළින් කිසිවකුගේ ශ්‍රද්ධාව හෝ බුද්ධිය වර්ධනය වන්නේ නෑ. වෙසක් සමය සැණකෙළි සමයක් බවට පත්කර ගැනීම නිසා ආර්ථික ලාභ ප්‍රයෝජන ලබා ගන්නා පිරිසක් ද අද බිහිවී තිබෙනවා. වෙසක් සමය ඔවුන්ට ලාභ උපදවන සමයක්.

වෙසක් සමයෙහි ඇති ධාර්මික අර්ථය ගැන හොඳින් තේරුම්ගෙන ආධ්‍යාත්මික ශික්ෂණය සඳහා හේතු වන ක්‍රියාකාරකම්වල යෙදීම ඉතාම ඥානාන්විතයි. වෙසක් සමය සැණකෙළි සමයක් බවට පත්කර ගත් අනුවණ අඳ බාල ක්‍රියාව සමාජගත වීම සමාජ පිළිලයක්. ඒ නිසා ධාර්මික විනෝදයේ සීමා මායිම් තේරුම් ගෙන වෙසක් සමය තුළ ජීවිතයට නව අර්ථයක් එක්කර ගැනීමට උනන්දු විය යුතුයි.

මේ පින්බර අවස්ථාවට බෞද්ධයන් විදිහට අපි පිළිවෙතින් පෙළගැහෙන්න ඕනෑ මොන විදියටද?

ඉකුත් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සැමරුමත් සමඟම සමාජගත වූ වදනක් තමයි ‘පිළිවෙතින් පෙළගැසෙමු’ කියන එක. පිළිවෙතින් පෙළ ගැසීම බෞද්ධ ආර්ය මාර්ගයේ මුල් පියවරක්. තිසරණය සහිත පන්සිල් සමාදන් වී එය මනාව ආරක්ෂා කිරීම මෙහි පළමු අංගයයි. පොහෝ දිනවල දී අටසිල් සමාදන්වීම ආදිය මෙහිදී ඉතාම වැදගත්. වෙසක් පොහෝ දිනයේ දී ඒ වෙනුවෙන් කිසියම් හෝ සැරසිල්ලක් නොකළ අඩුම තරමේ පහන් කූඩුවක් හෝ බෞද්ධ කොඩියක් හෝ ප්‍රදර්ශනය නොකළ නිවෙසක්, ආයතනයක් සොයාගැනීමට නොහැකියි. ඒක බාහිර වශයෙන් වෙසක් පොහොයට අර්ථයක් ගෙන දීමක්.

එහෙත් ඊට ආධ්‍යාත්මික වශයෙනුත් යම් අර්ථයක් එක් කළ යුතුමයි. එහිදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වන්නේ දාන, සීල, භාවනා ආදී වශයෙන් ඉගැන්වෙන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල නිරතවීමයි. ඒ සෑම දෙයක්ම සිදු කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ප්‍රතිපදා මාර්ගය අනුගමනය කිරීමයි. යමෙක් ධර්මය දකිත්ද එය මා දැකීමකට හා සමාන බවයි බුදුරඳුන් උගන්වා තිබෙන්නේ.

එහිදී පිළිවෙතින් හෙවත් ප්‍රතිපත්තියෙන් සාරවත් පුද්ගලයන් ලෙස අප හැසිරිය යුතුයි. පස්පව්, දස අකුසල් මොනවාද යන වග තේරුම්ගෙන සහමුලින්ම ඒවායින් ඉවත්විය යුතුයි. මවුපිය, ගුරුවර, වැඩිහිටි ආදීන්ගේ වටිනාකම් තේරුම්ගෙන ඔවුන්ට සැලකීමට සේම ගරු කිරීමටත් නිතැතින්ම යොමුවිය යුතුයි. තම සමාජ යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතුයි. පිළිගැනීම, ඊර්ෂ්‍යාව, වෛරය, තමන් උසස් කොට සෙසු අය පහත් කොට සැලකීමේ අඳබාල පිළිවෙත මුළුමනින්ම බැහැර කළ යුතුයි.

වෙසක්, පොසොන් වැනි සුවිශේෂී පොහෝ දිනවල ජනාකීර්ණ සිද්ධස්ථානවල සිල් සමාදන්වීමට යෑමෙන් නිසි පල ලැබිය හැකිද?

වෙසක්, පොසොන් වගේ වසරේ සුවිශේෂී පොහොය දිනවල පෞරාණික, චිත්තාකර්ෂණීය මෙන්ම ඇතැම් විට විශාල සැදැහැවත් ජනතාවක් එක්රැස් වන සිද්ධස්ථානවල සිල්සමාදන් වීමට යෑම ඇතැම් බෞද්ධයන්ගේ සිරිතක්. සිද්ධස්ථානයේ පෞරාණික වටිනාකම ඇතැම් විට එයට හේතුවන්නත් පුළුවන්. නොඑසේ නම් පෞරාණික නොවුණත් සිද්ධස්ථානයේ පවත්නා මනා චිත්තාකර්ෂණීය වූ සුන්දර පරිසරය හෝ විශාල සැදැහැවත් පිරිසක් එක්රැස් වන තැනක් වීමත් ඒකට හේතුවන්න පුළුවන්.

එහෙත් අප වටහා ගත යුතු ප්‍රධාන කාරණය සිද්ධස්ථානයේ ජනප්‍රියත්වය නෙවෙයි. චිත්තාකර්ෂණීය බව හෝ පෞරාණික බව හෝ ජනාකීර්ණත්වය හෝ නොවෙයි. සිල් සමාදන්වීමට යෝග්‍ය නිහඬ පරිසරයක්, ආගමික වටාපිටාවක් සහ නිසි පොහොය වැඩසටහනක් එම ස්ථානයේ පවතිනවාද යන කාරණය පිළිබඳයි අවධානය යොමු කළ යුත්තේ. රැල්ලට සිල් සමාදන්වීමට යෑම අනුවණකමක්.

ඇතැම් ජනාකීර්ණ සිද්ධස්ථානවල කොතරම් ජනතාව ගැවසුණත් ඒ අයගේ සංවරකම නිසාම පරිසරය නිහඬවිය හැකියි. මනා ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක විය හැකියි. එවැනි තැනක් ජනාකීර්ණ වුවත් සිල්සමාදන් වීමට යෑමට සුදුසුයි. මෙහිදී සීලයේ පල නෙළා ගත හැකි වන්නේ සමාදන් වන සීලයේ මැනවින් නිරත වුවහොත් පමණයි. නිහඬ නිසංසල පරිසරය ආධ්‍යාත්මික ක්‍රියාකාරකම්වල යෙදීමට වඩාත් සුදුසුයි.

අනෙක් කරුණ තමයි, සිල් සමාදන් වෙනවා කියන්නේ බ්‍රහ්මචර්යාව අනුගමනය කිරීමක්. බුදුරජාණන් වහන්සේ අනුකරණය කිරීමක්. ඒකට ඝෝෂා සහිත නිදහසින් තොර පරිසරය බාධාවක්. ජනාකීර්ණ වුවත් නූනත් පරිසරය ගැළපේ නම් එතැනට තමයි සිල් සමාදන්වීමට යා යුත්තේ. ස්ථානයේ පෞරාණික බව හෝ ජනාකීර්ණ බව හෝ චිත්තාකර්ෂණීය බව හෝ නොවෙයි සීලයට වැදගත් වන්නෙ. දවස අර්ථවත්ව ගත කළ හැකි පරිසරය තමයි වැදගත් වන්නේ.

පොහෝ දිනවල දන්සල් දීම අද විලාසිතාවක් වෙලා. ස්වාමීන් වහන්ස, මේ ගැනත් විග්‍රහයක යෙදෙමු.

දන්සල් දීම ඉතා ඇගයිය යුතු පින්කමක්. එහෙත් එය අවබෝධයෙන් කළ යුතුයි. බුදුරඳුන් වදාළ සප්පුරිසදාන සූත්‍රයේ කාල දාන පහක් ගැන උගන්වනවා. ආගන්තුකයන්ට දන්දීම, මගීන්ට දන්දීම ගැන එහි කියැවෙනවා. දන්සල් දෙන්නේ මගීන්ටයි. ඔවුන් වන්දනාවේ යන, එනම් වෙසක් සමය තුළ සිද්ධස්ථාන, තොරණ, පහන් කූඩු ආදිය නැරඹීම සඳහා යන අයයි. ඔවුන්ට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම උතුම් පින්කමක්.

ඒත් අද සමහරුන් කියන්නේ දන්සල් වඳින්න යනවායි කියලා. දන්සල් යන්නේ කන්න බොන්න මිසක් වඳින්න නොවෙයිනේ. වඳින්න යන්නේ පන්සල්වලට. එදා දන්සල් දුන්නේ යමක්කමක් තියෙන අයම නොවෙයි. වසරක් තුළ යම් මුදලක් ඒ වෙනුවෙන් ආයෝජනය කර හැකි පමණින් වන්දනාවේ යන සැදැහැවතුන්ට හෝ ගමේ පුද්ගලයන්ට දන්සල් දුන්නා. ඒත් අද මේ වටිනා පින්කම විලාසිතාවක් බවට පත්වෙලා. සිය දහස් ගණන් ජනතාව කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල ඉඳගෙන දන්සල්වලට එකතු වෙනවා. අද දන්සලක් දෙන්න නම් ලොකු මුදලක් අවශ්‍ය බව පේනවා. ඒකත් එහෙම බැලුවාම ධනවතුන් අතට ගිහිල්ලා.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT