Home » මාලිමාව දිනූ සියලු ආයතනවල බලය පිහිටුවනවා

මාලිමාව දිනූ සියලු ආයතනවල බලය පිහිටුවනවා

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නිහාල් අබේසිංහ

by mahesh
May 14, 2025 1:01 am 0 comment

පැවති පළාත් පාලන මැතිවරණයත්, එයින් ජාතික ජන බලවේගයට ලැබුණු ජයග්‍රහණයත් ඇතුළුව තවත් කරුණු කිහිපයක් පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.

– ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඉදිරි වසර පහේදී ඉටු කරනවා
– පෞද්ගලික කැමැත්තට නොව පොදු අවශ්‍යවතාව වෙනුවෙන් වැඩකරනවා
– උතුරු-නැඟෙනහිර ජනතා පදනම තහවුරු වුණා

පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට යෑමේදී කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා නේද?

“පවතින නීතිය අනුවත්, පළාත් පාලන මැතිවරණ ක්‍රියාදාමය අනුවත් එහෙම ගැටලු එන බව අපි කල්තියාම දැනගෙන හිටියා. නමුත් අවුරුදු හතක පමණ කාලයක් පුරා අපේ රටේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ නෑ. ඒ නිසා මැතිවරණ කොමසාරිස්ට සහ මැතිවරණ කොමිසමට අධිකරණයෙන් නියෝගයක් තිබුණා, හැකි ඉක්මනින් පසුගිය අවුරුද්දේ පළාත් පාලන මැතිවරණය තියන්න කියලා. ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදෙන්න අපට අවශ්‍ය වුණා. ඒ සඳහා මාලිමාවේ ආණ්ඩුව උපරිම ලෙස කැපවෙන බව මහමැතිවරණයටත් පෙර සිටම ප්‍රකාශ කළා. තවත් කල් නොයවා ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන්න අපට අවශ්‍ය වුණා.

විශේෂයෙන්ම රාජ්‍යයේ විධායකය, ව්‍යවස්ථාදායකය ගනු ලබන තීරණ රාජ්‍ය ආයතනවලට අමතරව බිම් මට්ටමේ ඇති පළාත් පාලන ආයතන හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. එනිසා අපට බිම ශක්තිමත් කරගන්න මැතිවරණය පවත්වන්න වුවමනා වුණා. මැතිවරණය පැවැත්වුවා. එහි ප්‍රතිඵලයක් හැටියට මැතිවරණයට සමානුපාතික ක්‍රමයක් සහ කොට්ඨාස ක්‍රමයක් හඳුන්වාදී තියෙනවා. මේ ක්‍රමයට මැතිවරණය පවත්වන දෙවැනි වතාව මේ. කොට්ඨාස ක්‍රමය තුළ මාලිමාව ජයග්‍රහණය කළා. නමුත් සමානුපාතික ක්‍රමය තුළ විවිධ පුද්ගලයන්ගේ ඡන්ද ලබාගැනීමේ ප්‍රතිශතය අනුව විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට තමන්ගේ නියෝජිතයන් පත්කිරීමේ අයිතිය මේ පනත හරහාම ලැබී තියෙනවා.

අපි දැන් ඒ යථාර්ථයට මුහුණදෙමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන්නෙ මාලිමාව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සියල්ලේම මාලිමාවේ නායකත්වයෙන් පළාත් පාලන ආයතනය පිහිටුවා ගන්න. ඒ සඳහා අපි අපේ පක්ෂයට ගැළපෙන, ප්‍රතිපත්තිවලට ගැළපෙන ආකාරයට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න සූදානම් වෙමින් සිටිනවා.”

මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ නවක මන්ත්‍රීවරුන්ට ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍ය නිසි මඟපෙන්වීම සහ පුහුණුව ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ ගැන කීවොත්?

“පක්ෂය තුළ සහ රාජ්‍ය යන්ත්‍රණය තුළත් මේ සඳහා වැඩපිළිවෙළ තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන හරහා, රාජ්‍ය නොවන ආයතන හරහා, පාර්ලිමේන්තුව හරහා මේ පත්වන සියලු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය කරන දැනුම ලබාදීමේ ක්‍රමවේද තියෙනවා. ඉදිරියටත් එම ක්‍රමවේද භාවිත කරනවා. කෙසේ වෙතත් මෙය එතරම් ගැටලුවක් වෙන්නේ නෑ. එයට හේතුව අත්දැකීම් තියෙන කිහිපදෙනෙක් හෝ මේ සෑම සභාවකම සිටිනවා.”

ජාතික ජන බලවේගය බලයට පත්වීමත් සමඟ රාජ්‍ය ආයතනවල යම් යම් වෙනස්කම් සිදු වුණා. මේ වෙනස්කම් ජනතාව අපේක්ෂා නොකළ ආකාරයට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ පිළිබඳව පක්ෂයේ මතය කුමක්ද?

“සමහරවිට මේ කළ වෙනස්කම් සමඟ පත්වූ අයගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ අයගේ අත්දැකීම්, පුහුණුව, ඒ ඒ විෂයයන් පිළිබඳව තිබෙන දැනුම, ආකල්ප සහ පිරිස් පාලනයේ දුර්වලකම් තියෙන්න පුළුවන්. ඕනෑම ආයතනයකට මුලින්ම පැමිණි නිලධාරීන් තුළ එය තියෙන්න පුළුවන්. රාජ්‍ය ආයතනයකට පත්වන ඕනෑම නිලධාරියෙක් පළමු වරට ඒ ආයතනයට පත්වන විට යම්කිසි කාලයක් ගන්නවා, ඒ ආයතනය පිළිබඳව තේරුම් අරගෙන, ඒ ආයතනයට ගැළපෙන විදියට කටයුතු කරන්න. මේක තමා යථාර්ථය. මේ යථාර්ථයට මුහුණ දෙන්න සූදානම් නැති සමාජ පසුබිමක් නිසා තමයි මේ විදියට ව්‍යාකූල තත්ත්වයන් මතු වෙන්නේ.

මේ රාජ්‍ය සේවය පිළිබඳව අවුරුදු විසි හතක අත්දැකීම මට තියෙනවා. අපි හැම කෙනෙක්ම එදිනෙදා ජීවිතයෙන් ලබාගන්නා අත්දැකීම්, දැනුම සහ ඉගෙනුම හරහා තමයි, ඒ ආයතන හසුරුවන්නේ. ඒකට යම්කිසි කාලයක් ගන්නවා. එය තේරුම් ගන්නේ නැත්නම් අපට ඒකට කරන්න දෙයක් නෑ. මේවා රාජ්‍ය යන්ත්‍රණ නිසා නිලධාරීන් පත්කිරීමට, මාරු කිරීමට සහ ඉවත් කිරීමට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඉදිරියේදී අපට යම්කිසි කෙනෙක් හඳුනාගැනීමට හැකිවුණොත් ඔහු ඒ තැනට සුදුසු නෑ කියලා, අපි අවශ්‍ය පියවර ගන්නවා.”

ජනතා බලාපොරොත්තු රාශියක් මැද බලයට පත්වූ ජාතික ජන බලවේගයට ජනතාවට දැනෙන යමක් කරන්න නොහැකි වූ බවට විපක්ෂය නිරන්තරයෙන් චෝදනා නඟනවා. මෙයට දෙන උත්තර මොකක්ද?

“දැනෙනවා කියන දෙය සාපේක්ෂයි. ඔබට දැනෙන දේ මට නොදැනෙන්න පුළුවන්. එනිසා දැනෙනවා කියන දේ අපට නිශ්චිත නෑ. ජනතාවට බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ විවෘත ආර්ථික ක්‍රමය තුළ සෑම දෙයක්ම තරගකාරී වගේම සෑම කෙනෙක්ම තමන් කැමැති දෙය තමා බලාපොරොත්තු වෙන්නේ. එනිසාම තමන් කැමැති දේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් තරග කරනවා. සටන් කරනවා. ඒක තමා යථාර්ථය. ඒ යථාර්ථයට මුහුණ දීමේදී අපේ ඡන්දදායකයන් සහ පොදුවේ රටේ ජනතාව වෙනුවෙන් මැදිහත්වන දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි අවුරුදු ගණනක් පුරා ඒ වෙනුවෙන් කැප වුණා. ඒ වෙනුවෙන් සටන් කළ ව්‍යාපාරයක්. මේ සියලු ක්‍රියාමාර්ග ගත්තේ ඒ ඒ ජන කොටස්වලට සහන සැලසීමට. එසේ නොමැතිව පෞද්ගලික සහන සලසන්න අපි කටයුතු කර නෑ. ඒක අපි පිළිගන්නවා. පොදු ජනතාව ගත්තොත්, කම්කරු ජනතාව ගත්තොත්, රාජ්‍ය සේවකයා ගත්තොත්, වෘත්තිකයා ගත්තොත්, ආගමික ප්‍රජාව ගත්තොත් අපි ඒ සෑම ක්ෂේත්‍රයකම සිටින පිරිස ගැන හිතලා අපට කරන්න පුළුවන් උපරිම මැදිහත්වීම මේ පසුගිය මාස හය ඇතුළත කරමින් සිටිනවා. කරලා ඉවර නෑ. තව අවුරුදු හතර හමාරක් තියෙනවා.

එනිසා අපි ජනතාවට කියන්නේ යම්කිසි ප්‍රමාණයකට ඉවසීමෙන් ඉන්න වෙයි. මොකද, තමන්ට පෞද්ගලිකව කැමැති දේ සමහරවිට මේ ආණ්ඩුවෙන් කර ගන්න අමාරු වෙයි. උදාහරණයක් ගත්තොත් මම මන්ත්‍රීවරයෙක් හැටියට මාස පහක් කටයුතු කර තියෙනවා. කිසිම පාසලකට ළමයෙක් ඇතුළත් කර දෙන්න කියලා මට ඉල්ලීමක් ලැබී නෑ. පොලීසිය පිළිබඳවත් මට ලැබුණේ පැමිණිලි දෙකයි. ඒ කියන්නේ අපේ දේශපාලන සදාචාරයට ජනතාව හුරුවෙමින් සිටිනවා කියන එකයි. ඒ වගේම අපේ දේශපාලන සදාචාරය ජනතාව ඉගෙන ගනිමින් සිටිනවා. මේ ධනාත්මක පිවිසීමක්.

මේ දේශපාලන ව්‍යාපාරය 2020 සිට කටයුතු කරනකොට අපට ඡන්ද තිබුණේ සියයට තුනයි. සියයට තුනේ සිට සියයට හැට දෙක දක්වා 2024 නොවැම්බර් වෙනකොට අපි ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් වීම සිදු වුණේ විවිධ දේශපාලන පක්ෂවලට ඡන්දය දුන් පිරිස අප වෙත නැඹුරු කරගත් නිසයි. නමුත් අපෙන් ලැබෙන දෙය ඔවුන්ට ප්‍රමාණවත් නොවන්න පුළුවන්. එලෙස ඔවුන් දේශපාලන පක්ෂ අතහැර අපත් එක්ක ඇවිත් ඔවුන් බලාපොරොත්තු වූ දේ ඉෂ්ට නොවෙන කොට අපව විවේචනය කරනවා. අපට විරුද්ධ වෙනවා. අපව අත්හැර යනවා. ඒ යථාර්ථය. අපි එයට මුහුණදෙමින්, ශක්තිමත්ව ඉදිරි අවුරුදු හතරහමාර ජනතාවට දැනෙන වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. එය කළ හැකි බව මේ වන විටත් අපේ කැපවීම තුළ ජනාධිපතිතුමා, අගමැතිනිය, කැබිනට් මණ්ඩලය සහ සියලු මන්ත්‍රීවරුන් ඔප්පු කර තියෙනවා. රටට අලුතින් පත්වූ මන්ත්‍රීවරුනුත් ඒ සදාචාරාත්මක වගවීම රට වෙනුවෙන් ඉෂ්ට කරනවා කියලා අපි සහතික වෙනවා.”

පසුගිය මැතිවරණ දෙකට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද ප්‍රමාණයේ යම්කිසි අඩුවීමක් පෙන්නුම් කරනවා නේද?

“එය ස්වාභාවිකයි. ජනාධිපතිවරණයට වඩා මහමැතිවරණයේදී අපි වැඩිපුර ඡන්ද ලක්ෂ දොළහක් ගත්තා. ජාතික ජන බලවේගය තමයි ඉදිරි වසර පහ තුළ මේ රට පාලනය කළ යුත්තේ කියලා ජනතාව තුළ දැඩි විශ්වාසයක් ඇතිවුණා. පළාත් පාලන මැතිවරණය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් මැතිවරණයක්. මෙයින් සිදු වෙන්නේ තමන් ජීවත් වන පළාත් පාලන කොට්ඨාසය සඳහා මන්ත්‍රීවරයෙක් පත් කරගැනීම. එහිදී ආපසු හැරී බැලුවොත් කොට්ඨාස මට්ටමින් මන්ත්‍රීවරුන් පත්කර ගැනීමේදී ඉදිරියෙන්ම ඉන්නේ ජාතික ජන බලවේගය. උදාහරණයක් ලෙස හොරණ නගරයේ කොට්ඨාස හතෙන් හයක් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් ජයග්‍රහණය කළා. හොරණ ප්‍රාදේශීය සභාව තුළ කොට්ඨාස තිහම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළා. අනෙක් දේශපාලන පක්ෂවලට ලැබී තියෙන්නේ ඒ අයට ලැබෙන ඡන්ද ප්‍රතිශතයට සමානුපාතික මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක්. එනිසා ඒ ගැන කලබල විය යුතු නෑ.”

උතුරු නැඟෙනහිරින් ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද ප්‍රමාණය ගැන සෑහීමකට පත්වෙනවාද?

“උතුරේ ජනතාවත් සාම්ප්‍රදායිකව තමන්ගේ කෙනාට ඡන්දය දීමට හුරුවෙලා හිටියා. ඒක තමා පහුගිය කාලය පුරාම අපට තියෙන අත්දැකීම. ඒ අත්දැකීමට සාපේක්ෂව දකුණේ තියෙන අත්දැකීමම තමයි උතුරේ තියෙන අත්දැකීම වන්නේ. උතුරේ දමිළ පක්ෂ කාලයක් පුරා ඒ අය සමඟ සමීපව දේශපාලනය කළ පක්ෂවලට සහ පුද්ගලයන්ට ඡන්දය දීම මෙතැනදී ප්‍රදර්ශනය වුණා. මෙතැනදී ඡන්දය භාවිත කරන්නේ තමන්ගේකමට. නමුත් උතුරු නැඟෙනහිර පළාත් දෙකම ගත්තොත් ජාතික ජන බලවේගයට මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ලැබී තියෙනවා. බිම් මට්ටමේ ජාතික සමඟිය ගොඩනඟන්න අවශ්‍ය කරන ඒ මූලික අඩිතාලම ජාතික ජන බලවේගය සකස් කරගෙන තියෙනවා කියන එක මේ මැතිවරණයෙන් පෙන්නුම් කරනවා. කාටවත් ඒකට අභියෝග කරන්න බෑ.”

පක්ෂයේ ඉදිරි සැලසුම් සකස් වන්නේ කෙසේද?

“අපේ මූලික කාර්යය වෙන්නේ මේ පළාත් පාලන සභා පිහිටුවීමයි. එයින් පසුව අපට ජාතික වැඩපිළිවෙළක් තියෙනවා. අපි මැතිවරණයේදී රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා. අපේ විධායකය, ව්‍යවස්ථාදායකය, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය ආයතන මෙහෙයවමින් මේ අපේ ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක කිරීමට ජනතාවට දුන් බලයත් සමඟ ඇතිවූ විශ්වාසය තහවුරු කිරීමට අවශ්‍ය කරන සියලු දේශපාලන මැදිහත්වීම් දේශපාලන ව්‍යාපාරයක් හැටියට සිදු කරනවා. කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කැපවෙනවා.”

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT