Home » මහාචාර්ය කමල් කරුණානායක අනුස්මරණයට ස්වර්ණ මුද්‍රිකාවක්

මහාචාර්ය කමල් කරුණානායක අනුස්මරණයට ස්වර්ණ මුද්‍රිකාවක්

by mahesh
May 14, 2025 1:00 am 0 comment

දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ කීර්තිමත් ශ්‍රී ලාංකික ශාස්ත්‍රඥයකු වූ අභාවප්‍රාප්ත මහාචාර්ය කමල් කරුණානායක මහතා අනුස්මරණය කිරීමට සෑම අධ්‍යයන වර්ෂයකම දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවේ හොඳම කාර්යශූර්ය විද්‍යාර්ථියා වෙත ස්වර්ණ මුද්‍රිකාවක් ප්‍රදානය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය තීරණය කර ඇත.

මේ ස්වර්ණ මුද්‍රිකාව පිරිනමන්නේ විශ්වවිද්‍යාලයීය සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවයකදීය. මහාචාර්ය කමල් කරුණානායක මහතා මහාචාර්යවරයකු වශයෙන් සහ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානියකු වශයෙන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් අධ්‍යනාංශයේ අධ්‍යයන මට්ටම ඉහළ නැංවීමට වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබෙන අතර ජාතික හා ජාත්‍යන්තර ආයතන කිහිපයක පර්යේෂකයකු, විද්වතෙකු සහ උපදේශකයකු වශයෙන් ද සේවය කර ඇත.

මෙහි ආරම්භක අදියරක් ලෙස මහාචාර්ය කමල් කරුණානායක මහතාගේ බිරිය වන කුසුම් කරුණානායක මහත්මිය විසින් වාර්ෂිකව මේ ස්වර්ණ මුද්‍රිකාව ප්‍රදානය කිරීමට මූල්‍ය පරිත්‍යාගයක් පිරිනමනු ලබයි.

එහිදී මහාචාර්ය කමල් කරුණානායක මහතා පිළිබඳ අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහයක් ද එළිදැක්විණි. මේ අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය සංස්කරණය කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යමුනා නිරංජනී මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් සංස්කාරක මණ්ඩලයක් විසිනි.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක, දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය ඔසන්ත එන්. තල්පාවිල මහත්ම මහත්මීහු ද දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT