දේශගුණික ඔරොත්තුදීමේ හැකියාව සහ ආපදා සූදානම පිළිබඳ කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කරන කලාපීය ඒකාබද්ධ බහු – උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ (RIMES) 4 වැනි අමාත්‍ය සමුළුව කොළඹ දී සාර්ථකව අවසන්කෙරිණි. දින දෙකක කාලයක් කොළඹ දී පැවති මේ සමුළුවට සම සභාපතිවරයකු වශයෙන් ඉන්දියාව සහභාගි වී තිබෙන අතර RIMES යනු අන්තයේ සිට අවසානය දක්වා පූර්ව අනතුරු ඇඟවීමේ සේවා, ධාරිතා වර්ධනය සහ ආපදා අවදානම් අවම කිරීම සඳහා එහි සාමාජික රටවලට සහාය දක්වන අන්තර් රාජ්‍ය ආයතනයක් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ඉන්දියාව වර්තමානයේ RIMES කවුන්සිලයේ සභාපතීත්වය දරන අතර, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ ආපදා සූදානම පිළිබඳ කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ දී එහි නායකත්වය අවධාරණය කරයි. මේ රැස්වීමේ පළමු දිනය ඉන්දීය රජයේ පෘථිවි විද්‍යා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එම්.රවිචන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කවුන්සිලය විසින් ආයතනික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර සමුළුවේ දෙවැනි දිනයේ දී ඉන්දීය රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා එක්ව තිබේ. ‘සැමට පූර්ව අනතුරු ඇඟවීමේ’ වැඩසටහන සහ RIMES මෙහෙයුම් විමධ්‍යගත කිරීම ඇතුළුව RIMES මුලපිරීම් සඳහා ඉන්දියාවේ ස්ථිර සහයෝගය මෙහිදී මහ කොමසාරිස්වරයා අවධාරණය කර ඇත. ඊට අමතරව යෝජිත RIMES කලාපීය මධ්‍යස්ථානය සඳහා සත්කාරකත්වය සැපයීම වෙනුවෙන් ඉන්දියාවේ අභිප්‍රාය ද ඒ මහතා සඳහන් කර තිබේ. මේ සමුළුව අතරතුර RIMES සාමාජික රටවල් විසින් අමාත්‍ය ප්‍රකාශය සම්මත කරන ලද අතර, කලාපයේ බහු – උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, දේශගුණික සේවා සහ ආපදා-ප්‍රතිරෝධී සංවර්ධනය ඉදිරියට ගෙනයෑම සඳහා ඔවුන්ගේ සාමූහික කැපවීම තහවුරු කර ඇතැයි ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.