Home » නකල්ස් සුන්දර වනාන්තරය මිනිසුන්ගේ වැඩ නිසා අවලස්සන වෙලා

නකල්ස් සුන්දර වනාන්තරය මිනිසුන්ගේ වැඩ නිසා අවලස්සන වෙලා

by mahesh
May 14, 2025 1:00 am 0 comment

හසලක සමූහ ඊ.එම්.එස්. ඒකනායක

ඵෙතිහාසික මහනුවර – මහියංගණ සංචාරක මාර්ගයේ කිලෝමීටර් 30ක පමණ දුර කොටසක් ඉදිවී ඇත්තේ නකල්ස් කඳු පද්ධතියේ සුන්දර වනාන්තරය හරහාය. මේ සුන්දර වනපෙත සහ වනපෙතේ ජීවත්වෙන වන සතුන්ගේ ජීවිත පිළිබඳව තඹයකුදු මායිම් නොකරන ඇතැම් නොහික්මුණු මිනිසුන් විසින් සිදු කරනු ලබන අනුවන ක්‍රියා නිසා වනපෙතත් වන ජීවින්ගේ ජීවිතවලටත් අද සිදුව ඇත්තේ අවාසනාවන්ත ඉරණමකි.

හුන්නස්ගිරිය සහ හසලක යන නගර අතර පිහිටි මෙම මාර්ග කොටසේ එක් කොටසක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් අනෙක් කොටස වනජීවි දෙපාර්තමේන්තුවටත් අයත් වනාන්තරය වේ.

ප්‍රදේශයටම ආවේණික වූ විවිධ වෘක්ෂලතාදියෙන් සහ විවිධ දර්ශනීය දසුන්වලින් පිරුණු සුන්දර වනාන්තරයක් වන මෙම වනය නකලස් කඳු පද්ධතිය හා සම්බන්ධ වෙනු ඇත.

වනජීවි කලාපයට අයත් කොටසේ වනඅලි ඇතුළු විවිධ වර්ගයේ වන සතුන් ජීවත් වෙන අතර මෙයින් බොහෝමයක් සතුන් ප්‍රදේශයටම ආවේණික වුවන් වීම ද විශේෂත්වයකි. කඳුකරයෙන් පටන් ගන්නා දිය ඇළි ගණනාවක් ද මෙම වනාන්තරයේ දැක ගත හැක. මේ ජල මාර්ගයන්ගේද සිටින මාළුවන් ඇතුළු ජලජ ජීවින්ද ප්‍රදේශයටම ආවේණික වූවන් වේ. මෙම ජල මාර්ගයන්ගෙන් කිහිපයක් හැර අනෙක් ජල මාර්ග බොහෝමයක්ම ප්‍රදේශවාසීන් විසින් වගා කටයුතුවලට සහ සිය එදිනෙදා ජීවන කටයුතු සඳහා ද භාවිත කරනු ලබයි.

සිදුවෙමින් පවතින මෙම පරිසරය හානිය පිළිබඳව අදහස් දැක්වු පරිසරවේ දී රංජිත් කුලතුංග මහතා, “වනාන්තරය හරහා ඉදිවී ඇති මහනුවර මහියංගණ 18 වංගුව මාර්ගයේ තෙල්දෙණිය 26 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ සිට මොරගහමුල දේවාලය දක්වා කොටසේත් හුන්නස්ගිරිය නගරයේ සිට හසලක නගරය දක්වා වූ කොටසේත් මාර්ගය දෙපස ඇත්තේ දැකුම්කළු සුන්දර වනාන්තරයයි. මේ සුන්දරත්වය අත්විඳීමට ආශා කරන දේශීය සංචාරකයන් මාර්ගයේ ඉඩ ඇති තැනක තම වාහනය නතර කර එම සුන්දරත්වය අත් විඳිනු ලබනවා. එම සුන්දරත්වය අත්විඳින ඇතැම් පිරිස් විසින් කරනු ලබන අනුවන ක්‍රියා නිසා එම සුන්දර පරිසරයට වෙන විනාශයත් නිසා එම පරිසරයේ ජීවත් වෙන අහිංසක වන සතුනට අත්විඳීමට සිදුවන්නේ ඉතාමත් ශෝචනීය තත්ත්වයකුයි.

මෙම 18 වංගුව ඵෙතිහාසික මාර්ගයේ ගමන් කරනා සංචාරක කණ්ඩායම් සහ පෞද්ගලික ගමන් යන එන බොහෝ පිරිස් තමන් රැගෙන එනු ලබන ආහාර පානාදිය මාර්ගය අයිනේ ඇති ඉඩ කඩක හෝ ජල මාර්ගයක් අසල තබාගෙන භුක්ති විඳිනු ලබනවා. එම ආහාරපානාදිය ගැනීමෙන් අනතුරුව ඉතිරි වෙන දෑ පරිසරයට අහිතකර නොදිරන ඉටි කොළ, කුරුම්බා කොම්බ, ප්ලාස්ටික් හිස් බෝතල්, හිරිකිතයකින් තොරවම පරිසරයට මුදාහරිනු ලබනවා. ඇතැම් කණ්ඩායම් මත්වතුරෙන් මත්වී එම මත්වතුර හිස් කරන බෝතල් එම ස්ථානයේම බිම දමා පොඩි කිරීමෙන් ද ඔවුන් ලබන්නේ අසීමිත තෘප්තියක් බව ඔවුන්ගේ ක්‍රියාවෙන් පෙනෙනවා.

වනයේ සිටින ගෝනා, මුවා, ඌරා, නරියා, කුළු ගවයා, වඳුරා සහ රිළවා මෙලෙස ඉවත දමන ලද ආහාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ එම ආහාරවල ඇති ලුණු රසයට හා මිරිස් රසයට ලොල්වීම නිසාත් වඳුරා හා රිළවා වැනි සතුනට වෙනත් ආහාර සොයා ගැනීම අපහසු නිසායි. ජල මාර්ග අසල සිට ආහාරපාන ගන්නවුන් කරනු ලබන්නේ ඉවත දමන දෑ එම ජල මාර්ගයන්ට විසිකර දැමීමයි. මේ ආහාර ගැනීමෙන් ජල මාර්ගවල ජීවත්වෙන ඇතැම් සතුන් මිය යන අවස්ථා දැක ගැනීමට හැකිවෙනවා. ගෝනා, මුවා, ඌරා, නරියා, කුළුගවයා, වඳුරා හා රිළවා වැනි සතුන් මෙම ලුණු රසයෙන් හා මිරිස් රසයෙන් ඇති ඉටි මලු වැනි නොදිරන දෑ ආහාරයට ගැනීමෙන් එම සතුන් ද විවිධ උදර රෝගයන්ට ගොදුරුවී ඉතා අවාසනාවන්ත අයුරින් මිය යනවා.”

මෙම පාරිසරික විනාශය පිළිබඳව අප කළ විමසීමේ දී මෙම ප්‍රදේශය භාර හසලක වනජීවි අඩවි ආරක්ෂක ඩබ්ලිව්.ඒ. මහින්ද විජේසිංහ මහතා, “මට නිල වශයෙන් පත්තරේට ප්‍රකාශයක් ලබාදීමට නොහැකියි. නමුත් සිදුවෙන සිදු වෙමින් පවතින පාරිසරික හානිය අපිත් දන්නවා. මේ හානිය දැඩි ලෙස කරන්නේ මාර්ගයේ ගමන් කරන සංචාරක කණ්ඩායම් නෙවෙයි. අපි මාර්ගයේ මුර සංචාරය කරන අවස්ථාවල දී එවැනි කණ්ඩායම් මාර්ගය අසල ආහාරපාන ගැනීම් දකිනවා. එම ස්ථානවලට අපි ගිහිල්ලා ආහාරපාන ගැනීමෙන් පසු ඉතිරි වෙන දැ පරිසරයට මුදාහරින්න එපා කියා පරිසරයේ වටිනාකම ඔවුන්ට පහදා දෙනවා. අපි කොපමණ දැනුම්වත් කිරීම් කළත් ජරා වැඩකරන මිනිසුන් අපේ රටේ සිටිනවා. මේ මහා පරිමාණයේ විනාශය කරන්නේ මේ ප්‍රධාන මාර්ගයේ තියෙන හෝටල් හිමියෝයි.

මොවුන් මේ විනාශකාරී ක්‍රියාව කරන්නේ රාත්‍රී කාලයේදීයි. මේ වන විටත් අපි වනයට හානි කරපු බොහෝදෙනෙකුට නීතිමය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම පාරිසරික සහ වන සතුන්ට වෙන හානි අවම කිරීමේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මණින්ම අවශ්‍ය කරනවා. අප පරිසරයට හානි කරන අයවලුන්ව නීතියේ රැහැනට කොටු කර ගන්නවා. විශේෂයෙන් මෙම මාර්ගවල යන එන පරිසර හිතකාමී ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙවැනි පාරිසරික හානියක් කරනවා දුටුවිටක දී වහාම ළඟම ඇති පොලීසියට හෝ අපගේ හසලක කාර්යාලයට දැනුම් දීමක් කරන ලෙසයි.

එහෙමත් නැතිනම් ඔවුන් පැමිණි හෝ පැමිණෙන වාහන අංකය සටහන් කරගෙන ළඟම ඇති පොලීසියට හෝ අපගේ කාර්යාලයට දැනුම් දීමක් කරන ලෙසයි. ඒ වාගේම තමයි මෙවැනි අනුවන ක්‍රියා තුළින් පාරිසරික හානි කරන්න එපා කියලත් සංචාරක ඔබගෙන් අපි ඉල්ලා සිටීමටත් කැමතියි. ඔබගේ අයහපත් ක්‍රියා පරිසරය විනාශ කරනවා සේම ඔබගේ යහපත් ක්‍රියා පරිසරය සුන්දර කරාවි.” යැයි ද ඔහු පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT