මෙය ඇසෙන්නේ යාපහු අඩවියෙනි. වසමක සේවය කරන රාජ්‍ය නිලධාරිනියකගේ පුතා කළ අමන වැඩක් ගැන අසා තම මව අන්දමන්ද වූවාය. ඇය රාජකාරි කටයුතු සඳහා වසමේ පිහිටි කාර්යාලයට යයි. මේ නිසා මුළු ගමම ඇයත්, ඇයගේ යතුරුපැදියත් හොඳින් හඳුනන්නේය. මේ අතර ඇයගේ වසමේ පැවති අවුරුදු උත්සවයකි. ඇය දහවල් කාලයේ ඊට සහභාගි වූවාය.
ඇය රෑට එහි නොගියාය. නමුත් ඇයගේ යතුරුපැදිය ඒ අසල නවතා තිබුණි.
“මේ අපේ මිස්ගේ බයික් එකනේ. කවුරු හරි එතැන නවතා ඇති වාහනයක් යට නිදාගෙන ඉන්නවා.” කවුරුත් ඒ යතුරු පැදිය ගැන කතාවූහ.
පසු දින ඇය සේවයට පැමිණියාය . “මිස් ඔයාගේ බයික් එක ඊයේ අතන තිබුණානේ. ඒ ළඟ වාහනයක් ගාව කවුදෝ වැටිලා නිදා ගෙනැත් හිටියා. අඳුනාගන්න බැරි වුණා.” ගමේ බොහෝ දෙනෙක් පැවසූහ.
“යකෝ ඊයේ රෑ ලොකු එකානේ බයික් එක අරගෙන ගියේ. එහෙනම් මේකා බීලා වෙරිමර ගාතේ තමයි බයික් එක පෙරළලා තියෙන්නේ. විළිලැජ්ජාවේ බෑ.” ඈ මොහොතක් කල්පනා කළාය.
“ආ.. ඊයේ රෑ අපේ ගෙදර නෑයෝ කට්ටියක් ආවා. එයාලා එතැනටත් යන්න ඇති.”නම්බුව රකින්නට මෙන් ඇය පැවසුවාය.
පසුව කොලුවාට කෝල් එකක් ගත්තාය.
“මේ උඹ ඊයේ රෑ බීලා බයික් එකෙන් පෙරළුණා නේද? වසමේ එවුන් දැක්කා ද?”
“අම්මා බය වෙන්න එපා. ටිකක් බීලා වැඩිවුණා තමයි. පස්සේ ලොරියක් අස්සට රිංගලා නිදාගත්තා. ගමේ එවුන් ඇවිත් ටෝච් ගහලා කවුද ඉන්නේ කියලා බැලුවා. එතකොට මං වෙස්මූණක් දාගෙන හිටියේ. බයික් එක අඳුනා ගත්තාට මම කවුද කියලා අඳුනා ගත්තේ නෑ”
කොලුවාගේ කතාව ඇසූ අම්මා “අම්මෝ ඇති යාන්තම්. උඹටත් මොළේ පෑදුණා වගේ. ඇති මගේ නම්බුව බේරුවා” කියා දුරකතනය විසන්ධි කළාය. ඒත් මේ සියල්ල එතැන සිට අසා සිටි ඇයගේ කාර්යාලයීය මිතුරියක් නම් කටපරිස්සම් කරගත්තේ නෑ. එදා සිට ඒ මිස්ගේ නමට ‘නම්කාර’ පට්ටමකුත් එල්ලුණාලු.
පොල්පිතිගම සමුහ – නන්දන කැලේගම