Home » බසයේ රස පරීක්ෂක වාර්තාව ගන්න අධිකරණයෙන් අවසර පතයි

බසයේ රස පරීක්ෂක වාර්තාව ගන්න අධිකරණයෙන් අවසර පතයි

by mahesh
May 14, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

ජීවිත 22ක් බිලි ගනිමින් කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථය රජයේ රස පරීක්ෂක මඟින් පූර්ණ පරීක්ෂාවක් සිදු කර වාර්තාවක් ලබාගැනීමට අධිකරණ නියෝගයක් ගැනීමට කටයුතු කරන බව කොත්මලේ පොලීසිය සඳහන් කරයි.

අනතුරට ලක්වූ බස් රථය ප්‍රපාතයෙන් ගොඩගෙන පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු මෙම අනතුරට හේතුව සොයා තාක්ෂණික විමර්ශනයක් පැවැත්වීමට ඊයේ (13) පෙරවරුව වන තෙක්ම මෝටර් රථ පරීක්ෂකවරයා පැමිණ තිබුණේ නැති බවත් මෙතෙක් මෙම අනතුරට හේතුව පැහැදිලිවම අනාවරණය වී නැති බවත් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා සඳහන් කළේය. බස් රථය පෙරළී රෝද උඩ අතට තිබියදී එම ස්ථානයට මෝටර් රථ පරීක්ෂකවරයා පැමිණ මූලික නිරීක්ෂණයන් සිදු කළ ද බස් රථය ගොඩගැනීමෙන් අනතුරුව එහි කොටස් එකිනෙක පරීක්ෂා කිරීමක් මෙතෙක් සිදු නොකළ බව ගම්පොළ පොලීසිය සඳහන් කරයි.

පොලිස් ස්ථානයේ මේ වන විට තබා ඇති අනතුරට ලක්වූ බස් රථය, මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පූර්ණ පරීක්ෂාවකට ලක්කර අනතුරට හේතුව කාර්මික දෝෂයක් ද නැද්ද යන්න බව සඳහන් කරමින් වාර්තාව ලැබුණු පසු එය අධිකරණයට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.

මෙම අනතුර සිදුව ඇත්තේ රියැදුරුට නින්ද යෑමකින් බව තහවුරු වන කිසිදු සාක්ෂියක් මෙතෙක් පොලීසියට ලැබී නැති බවත් ඒ සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය දැනගැනීමට බස් රථයේ ගමන් කළ තුවාල ලැබූ මගීන්ගෙන් ප්‍රකාශ ගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බවත් පොලීසිය සඳහන් කළේය.

මෝටර් රථ පරීක්ෂකට අමතරව රජයේ රසපරීක්ෂක මඟින් බස් රථය පරීක්ෂාවකට ලක්කරනු ලබන්නේ අනතුරට හේතුව බස් රථයේ සිදුවූ කාර්මික දෝෂයක් දැයි පැහැදිලිවම අනාවරණය කර ගැනීමට බව පොලීසිය සඳහන් කරයි.

අනතුර වන විට බස් රථයේ මගීන් 80කට වැඩි පිරිසක් ගමන් කර ඇති බවට තහවුරු වන බවත් එම ප්‍රමාණය කඳු පල්ලම් ඇති මෙවන් මාර්ගයක ධාවනය වන බස් රථයකට කොතරම් මගීන් ප්‍රමාණයක් දැරීමට හැකියාව තිබේදැයි ගැටලුවක් බව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT