Home » ජනාධිපති කාර්යාල පරිශ්‍ර වෙසක් සැමරුමෙන්…

ජනාධිපති කාර්යාල පරිශ්‍ර වෙසක් සැමරුමෙන්…

by mahesh
May 14, 2025 1:00 am 0 comment

කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන “වෙසක් බැති ගී සරණිය” ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පෙරේදා (12) සවස 6.30ට ආරම්භ කෙරිණි. ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භක්ති ගීත කණ්ඩායම් සහ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් මේ භක්ති ගීත වැඩසටහන හෙටත් (15) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

ඇමැති කුමාර ජයකොඩි, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එරංග වීරරත්න, හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කළ බත් දන්සල ද පෙරේදා ජනාධිපති කාර්යාලය අසලදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. දිවයිනේ නන් දෙසින් පැමිණි අතිවිශාල ජනතාවක් ඊට එක්ව සිටි අතර බත් දන්සල ඊයේ (13) දිනයේ ද පැවැත්විණ. එමෙන්ම වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් කෙටි ආහාර දන්සලක් ද පෙරේදා (12) ජනාධිපති කාර්යාලය අසලදී ආරම්භ කෙරුණු අතර, එය මෙම 16 වැනිදා දක්වා පැවැත්වේ.

එසේම ගංගාරාම “බුද්ධ රශ්මි” වෙසක් කලාපය සහ “බෞද්ධාලෝක” වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහ‍ෙයන් වෙසක් වැඩසටහන් රැසක් ඒ අවට සංවිධානය කර තිබූ අතර, ලේකම් කාර්යාලය හා අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුළුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් රැසක් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT