බෞද්ධ මූර්ති උරුමය සම්බන්ධයෙන් වන ‘ධම්ම රූප’ විශේෂ ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කර තිබේ.
කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය සහ ඉන්දියාවේ පැට්නාහි බිහාර් කෞතුකාගාරය සමඟ එක්ව, කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේ දී ‘ධම්ම රූප’ නමින් විශේෂ ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබෙන අතර එය එළඹෙන 16දා දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතියි.
ගංගාරාම වෙසක් උත්සවය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම ප්‍රදර්ශනය ආරම්භ කරන ලද අතර, පෙරේදා (12) අගමැති කාර්යාලය සහ ගංගාරාම විහාරස්ථානය එක්ව සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ඇමැතිවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තෝ සහභාගි වූහ.
‘ධම්ම රූප’ ප්‍රදර්ශනය ඉන්දියාවේ පොහොසත් බෞද්ධ මූර්ති උරුමය සමරන අතර ක්‍රි.පූ. 1 වැනි සියවසේ සිට ක්‍රි.ව. 11 වැනි සියවස දක්වා දිවෙන සංකේතාත්මක බුද්ධ මූර්තිවල දුර්ලභ ඡායාරූප ඉදිරිපත් කරයි. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් කැණීම් කරන ලද පුරාණ බෞද්ධ මූර්තිවල කැපීපෙනෙන රූප මෙහි ප්‍රදර්ශනය කර ඇති අතර, ඒවා බිහාර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
මෙම මූර්ති මුල් බෞද්ධ කලාකරුවන්ගේ ආධ්‍යාත්මික ගැඹුර සහ විශිෂ්ට ශිල්පීය කුසලතා පිළිබිඹු කරන අතර, මෙම ආරම්භක යුගයේ සිට බෞද්ධ කලාවේ කලාත්මක හා භක්තිමත් ප්‍රකාශන අත්විඳීමට අමුත්තන්ට අවස්ථාවක් ලබාදෙයි. මෙම අවස්ථාව සනිටුහන් කරමින්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රදර්ශන භූමියේ දී ජාතක කතා පාදක කරගත් චිත්‍ර කතා පොත් පහක සිංහල පරිවර්තනවල පිටපත් බෙදාදී තිබේ.
බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ වටිනාකම් සමඟ තරුණ මනස නිර්මාණශීලීව සම්බන්ධ කර ගැනීමේ විශේෂ මුලපිරීමක කොටසක් ලෙස මෙම පොත් දරුවන්ට පරිත්‍යාග කරන ලදි. ඊට අමතරව වෙසක් දිනයට පාදක වන මෙත්තා සහ කරුණා ගුණය සිහිපත් කරමින්, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය (ACBC) විසින් සංවිධානය කරන ලද බෞද්ධාලෝක වෙසක් උත්සවයේ දී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙසක් දන්සලක් ද සංවිධානය කර තිබුණි.
මේ සමඟින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පොදු බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට, බෙදා ගැනීමට සහ සැමරීමට ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු වන අතර එය බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළින් ජාතීන් දෙක එක්සත් කරන මුල් බැසගත් ශිෂ්ටාචාර සබඳතා සහ කල්පවතින සංස්කෘතික බැඳීම නැවත තහවුරු කිරීමක් බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.